අදහස් ප්‍රකාශනයේ නිදහසේ 2019-2020 වසරක ශේෂපත්‍රය

2019, 2020 වසරට අදාළව ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශනයේ නිදහස හා එහි නව ප්‍රවණතාවයන් ගැන වැදගත් වාර්තාවක් Freedomhouse ත්‍පර්යේෂකයින් විසින් නිකුත් කර අත- සෑම වසරකම ලෝකයේ සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යකටම අදාළව වාර්තාව බැගින් නිකුත් කරන අතර ඒ ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය ගැන මූලික තත්ව පරීක්ෂණයක් Freedomhouse පර්යේෂකයන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබයි. වාර්තාවේ දැක්වෙන ආකාරයට රාජ්‍ය මැදිහත්වීමෙන් ඔන්ලයින් හා සමාජජාල වාරණය කිරීමේ ප්‍රවණතාවය 2018 වසරට සාපේක්ෂව යහපත් වුවත් මේ වසර තුළද ශ්‍රී ලංකාව ප්‍රකාශනයේ නිදහස අතින් සාධනීය ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
සාමාන්‍යයෙන් අදහස් ප්‍රකාශනයේ නිදහස සැළකෙන්නේ අනෙකුත් අයිතිවාසිකම් අතර කේන්ද්‍රීය අයිතිවාසිකම ලෙසය. ප්‍රකාශනයේ නිදහස යම් රටක ගුණාත්මක වශයෙන් සාධනීය තත්වයකට පැමිණි නැත්නම් එය අනෙකුත් අයිතිවාසිකම්වලට ද නිශේධනීය ලෙස බලපානු ලබයි. ඒ අනුව මෙම වාර්තාවට අනුව සමස්තයක් ලෙස පසුගිය වසරේ ප්‍රජාතන්ත්‍රවාදය අතින් සැළකිය යුතු තරමේ ප්‍රගතියක් අත්කරගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.

වසරක කාලය තුළ ශ්‍රි ලංකාව තුළ අදහස් ප්‍රකාශනයේ නිදහස සර්ව ප්‍රකාරයෙන්ම අභ්‍යාස කිරීමට ප්‍රධාන බාධාවන් ලෙස කරුණු දෙකක් පැවතුණු බව වාර්තාවේ දැක්වේ. එහි පළමුවැන්න, 2019 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණය මුවවිට ජනමාධ්‍යවේදීන්, තොරතුරු ගවේෂකයන් හා සමාජ ක්‍රියාකාරිකයන් දෘඪ වශයෙන් බියගැන්වීමේ, තර්ජනයට ලක්කිරීමේ හා ස්වයංවාරණයට ලක් කිරීමේ සංස්කෘතියක් වර්ධනය වීමයි. දෙවැන්න, වසංගත තත්වය තුළ ප්‍රධාන ඔන්ලයින් වේදිකා, තොරතුරු සම්ප්‍රේෂණ ජාලා හා අන්තර්ගත බෙදාහරින්නන් මිලිටරිමය මැදිහත්වීම මත ස්වයං වාරණයකට ලක්වීමයි. ඒ අනුව පසුගිය වසරේ අදහස් ප්‍රකාශනය සම්බන්ධයෙන් ඇති නවතම අභියෝග දෙක වූයේ ජනාධිපතිවරණය හරහා මතුවූ අදහස් ප්‍රකාශනයේ නිදහසට සතුරු ප්‍රවණතාවය හා කෝවිඞ් වසංගත තත්වය පෙරට දමා සිවිල් ක්ෂේත්‍රවලට මිලිටරි හා රාජ්‍ය බුද්ධි අංශ එබී බැලීමයි.

විශේෂයෙන්ම පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 අප්‍රේල් 22 සිට අගෝස්තු මස දක්වා බලපැවැත්වෙන ආකාරයට නිකුත් කළ හදිසි නීති රෙගුලාසි මගින් අදහස් ප්‍රකාශනයේ පුරවැසි අයිතිවාසිකම පමණට වඩා අවහිර වූ බව වාර්තාව නිගමනය කරයි.අප්‍රේල් 22වැනිදා හදිසි නීති රෙගුලාසි යටතේ යම් පුවත් පතක පළවන ලිපි අන්තර්ගතයන් අධීක්ෂණයට “නිසි බලධරයෙක්” පත්කෙරිණ.යම් පුවත් පතක පළ කරන ලිපියක අන්තර්ගතය “කැරලි කෝලහාල හා මහජන කැළඹිලිවලට තුඩු දිය හැකි” කරුණු “පළ කරනු ලැබේ යැයි පළ කරනු ලැබුවේ යැයි හෝ පළ කරනු ලැබිය හැකි” යැයි‘ නිසි බලධරයාට හැගී ගියහොත් එම පුවත්පත “මුද්‍රණය වැළැක්වීම, බෙදාහැරීම වැළැක්වීම මුද්‍රණාලය රාජ සන්තකයට ගැනීමේ“ බලය නිසි බලධාරියාට ලැබේ.

නිසි බලධාරියා යනුවෙන් පත් කරන නිළධාරියා ජනාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන සුරතලෙකු වුවහොත් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන මැදහත් විවේචන පවා හදිසි අවස්ථා නියෝග යටතේ වාරණයට ලක්විය හැකියි. ප්‍රධාන ධාරාවේ මාධ්‍යට වඩා විකල්ප ධාරාවේ මාධ්‍යයට මින් එල්ල වන බලපෑම සාපේක්ෂව ප්‍රබල විය හැකියි. එමෙන්ම ගැසට්පත්‍රයේ “පුවත්පත” පුළුල් නිර්වචනයකට යටත් වන නිසා යම් සංග්‍රහයක් සගරාවක් හෝ වෙනත් ප්‍රකාශනයක වැනි පුවත් පත්වලට එහා යන ක්ෂේත්‍ර දක්වා ප්‍රකාශන නිදහස සීමාවීමේ සීමා රේඛා පළල් විය හැකියි. ඒ අනුව මෙම ගැසට් පත්‍රය එම වසරේ ප්‍රකාශනයේ නිදහස අවහිර කරන ලද මූලික ලේඛනය යැයි  Freedomhouse  පවසයි.

මීට අමතරව වාර්තාව ශ්‍රී ලංකාව නිරීක්ෂක රාජ්‍යයක් දක්වා සෙමෙන් වුවත් ක්‍රමයෙන් යමන් කරමින් තිබෙන රාජ්‍යක් බවට ඉගි කරයි. රාජ්‍ය මැදිහත් වීමෙන් පුරවැසියාගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය ප්‍රමාණයෙන් එබී බැලීම පසුගිය යහපාලන රජයේ අවසාන සමයෙන් මෘදු ලෙස ආරම්භ වී 2019 නොවැම්බර් මාසය වන විට වඩාත් පණ ගැන්වී කෝවිඞ් වසංගත තත්වය තුළ වඩාත් තීව්‍ර ස්ථානයකට පැමිණ ඇතැයි පැවසේ.

ගතවූ වසර තුළ නිරීක්ෂක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ පළමු වර්ධනීය අවස්ථාව ලෙස විදුලි සංදේශ නියාමන සභාව දේශපාලනීකරණය කිරීම හා එහි ස්වාධීනත්වය පළුදු කිරීම බව Freedomhouse  පෙන්වා දී තිබේ. විදුලි සංදේශ නියාමන් කොමිසන් සභාව යනු ලාංකික පුරවැසියාගේ විදුලි සන්දේශන ක්‍රියාවලිය නියාමය කරන ප්‍රධාන ස්වාධීන ආයතනය වේ. එනම් ජනතාවගේ අදහස් ප්‍රකාශනයේ නිදහස නූතන තාක්ෂණ මෙවලම් හා සේවා සපයන්නන් සමග නිසි ලෙස කළමනාකරණය කිරීමට බැදී සිටින ආයතනයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුගේ දේශපාලන හිතවතෙකු වූ පී.ආර්එ.ස්පී. ජයතිලක එහි සභාපති තනතුරට පත් කළ අතර ඒ ආදර්ශයටම 2019 දෙසැම්බරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහි නව සභාපති ධුරයට මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පත් කළේය. එසේම 2019 දෙසැම්බරයේම නිකුත් කළ ගැසට් නිවේදනයකින් විදුලි සංදේශ නියාමන කොමිසම ජනාධිපතිතුමාගේ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථයට යටත් කර තිබේ. මේ ආකාරයට දේශපාලන පත්කිරීම් හා ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දැරූ ආරක්ෂක අමාත්‍යංශය යටතට විදුලි සංදේශ නියාමන කොමිසම යටත් කිරීම මගින් ශ්‍රී ලංකාව නිරීක්ෂණ රාජ්‍යයකට සූදානම් කිරීමක් ලෙස Freedomhouse  දකී.

පසුගිය වසර තුළ නිරීක්ෂක රාජ්‍යක් ලෙස ශ්‍රී ලංකාවේ දෙවැනි වර්ධනීය වස් අවස්ථාව 2019 නොවැම්බර් මස පැවැත්වූ ජනාධිපතිවරණයයි. මැතිවරණය කාලය තුළ මාධ්‍යවේදීන් 78 දෙනෙකු බියවැද්දීම්, තර්ජනයට ලක් කිරීම්, හා ස්වයං වාරණය කිරීම්වලට ලක්ව තිබේ. වාර්තාව 2019 සැප්තැම්බර් මාසයේ ඔක්ස්ෆර්ඞ් අන්තර්ජාල ආයතනය නිකුත් කළ තවත් වාර්තාවක්ද උපුටා දක්වා තිබෙ.එම වාර්තාවෙන් පෙන්වාදෙන්නේ ජනාධිපතිවරණය ඉලක්ක කර රාජ්‍ය ආයතන, දේශපාලනඥයන් හා ප්‍රධාන දේශපාලන පක්ෂ සයිබර්ටෲප් කණ්ඩායම් කිහිපයක් සමග සබධතා පවත්වා තිබෙන බවයි. ඔක්ස්ෆර්ඞ් අන්තර්ජාල ආයතනය අනාවරණය කරන ආකාරයට මෙම කණ්ඩායම්වලට පැවරුණු මූලික කාර්ය ෆෙස්බුක්, ට්විටර්, හා යූ ටියුබ් වැනි ප්‍රසිද්ධ සමාජ ජාල තුළ අන්තර්ගතයන්ට දේශපාලන අර්ථනිරූපන ලබාදීමයි. ඒසේ සිදුකිරීමේදී ඉතා සියුම් ලෙස ඡන්දදායකයාගේ චර්යාව, දේශපාලන කැමැත්ත, අපේක්ෂාවන් ආදී අති පෞද්ගලික කරුණු නිරීක්ෂණය කර ඇති බව නිගමනය කරයි.

කොවිඞ් 19 වසංගත තත්වය තුළ මෙහි තුන්වැනි වර්ධනීය අවස්ථාව ඉස්මතු වී ඇතැයි වාර්තා කරයි. විශෙෂයෙන්ම රාජ්‍ය මිලිටරිය හා බුද්ධි අංශ මෙම වසංගත තත්වය පෙරට දමා පුරවැසියාගේ පෞද්ගලික තොරතුරු අත්පත්කරගැනීම, පෞද්ගලික චර්යාවන් නිරීක්ෂණය කිරීම, හා සියුම් ලෙස ජනයා යන එන තැන් සොයාබැලීමට පෙළඹීම ශ්‍රී ලංකාව නිරීක්ෂක රාජ්‍යයක් ලෙස ගතහොත් එහි නවතම මුහුණුවර බව පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අතින් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අවම සාර්ථකත්වයට 2015 යහපාලන රජයේ ක්‍රියාකාරීත්වයද හේතු වූ බව Freedomhouse  වාර්තාව නිගමනය කරයි- ප්‍රායෝගිකව දේශපාලනික හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල ප්‍රතිසංස්කරණ හදුන්වාදීමට පසුගිය රජය අර්ධ වශයෙන් සාර්ථක වීම, පශ්චාත් යුධ සමයේ සංක්‍රාන්තික යුක්ති මූලධර්ම ස්ථාපිත කිරීමට දැක්වූ මන්දෝත්සාහීභාවය හා 2018 ඔක්තෝබර් 26 ඇති වූ ව්‍යවස්ථා අර්බූදය මගින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකරගැනීමට තිබූ දේශපාලන ඉඩ කඩ තීරණාත්මක අවසානයකට පැමිණීම ප්‍රජාතන්ත්‍රවාදය අතින් ශ්‍රී ලංකාව රටක් ලෙස පසුගිය වසරේ ලැබූ අවම ප්‍රගතියට බලපෑ කරුණු අතර වේ.

Leave a Reply