ආදාහනය හෝ භූමදානය. එය ජනතා කැමැත්තද රජයේ නියෝගයක්ද?

“කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් මියැදුණු අයගේ දේහයන් ආදාහනය කිරීමේ තීන්දුවෙහි කිසිදු වෙනසක්   මෙතෙක් ඇති වී නෑ. ආගමික හෝ වාර්ගික පදනම මත මේ සම්බන්ධව කිසිදු සහනයක් ලබා දීමේ අපේක්ෂාවක් නැහැ.” බෝවන රෝග පර්යේෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේය. (මේ ලිපිය අද,24 වැනිදා ලියන ලද්දකි)

මෙතෙක් කොරෝනා වෛරසයට ගොදුරුව මියගිය අය අතර මුස්ලිම් ජාතිකයන් සෑහෙන සංඛ්‍යාවක් සිටි අතර ඒ සියල්ලන් ආදාහනය කෙරිණි, එහෙත් ඔවුන්ගේ ආගමානුකූලව භූමදානය නොකෙරිණි. මේ මතභේදය කොරෝනා ආසාදනය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ මේ වසරේ ආරම්භයේ සිට අඛණ්ඩව පැවතුණි. කෙසේ වෙතත්, රජය එහි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් පවතින්නේ ශ්‍රී ලංකාව තුළ ඕනෑම කෙනකු කොරෝනා ආසාදනයෙන් මිය ගිය විට ඔහුගේ ජාතිය හෝ ආගම නොතකා සිරුර ආදාහනය කිරීමේ තීරණය මතය.

මෙය මළ සිරුරු භූමදානය කරන අනෙක් ආගමික කණ්ඩායම් අතර ගැටලුවක් නිර්මාණය කළේ නැත. (ක්‍රිස්තියානි සහ ඇතැම් හින්දු භක්තිකයෝ ඔවුන්ගේ මෘතදේහ භූමදානය කරති.) කෙසේ වෙතත් ඉස්ලාමීය සංස්කෘතියට සහ පුරුදුවලට, විශේෂයෙන් ආගමික සිරිත්වලට දැඩිව බැඳුණු මුස්ලිම්වරුන් අතර මෙය ඇති කළේ නොසතුටකි. ඔවුන්, එනම් මුස්ලිම් ජනයා ඔවුන්ගේ නෑදෑයන් ආගමික සිරිත්වලට විරුද්ධව පුළුස්සා දැමීමට එකඟ නොවේ.

ඉස්ලාම්වාදීන් දැඩිව අදහන්නේ මෘතදේහයක් වළදැමූ විට ඒ පුද්ගලයා ඔහුගේ පින් පවුවලට  අනුව දෙව්ලොව හෝ අපායට යන බවයි. එනිසා භූමදානය වෙනුවට ආදාහනය කළ විට ඔවුන් දිව්‍යලෝකයට යෑමට පෙර ඒ ආත්මයට දඬුවම් ලැබෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

එහෙත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය විශේෂඥයන් භූමදානයට විරුද්ධය. ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉහළ මට්ටමක පිහිටන නිසා කොරෝනාවට ගොදුරු වූවකුගේ දේහය වළ දැමූ විට කොරෝනා වෛරස ව්‍යාප්තියට ඇති ඉඩ වැඩි බවයි. ඒ අනුව ඔවුන්ගේ උපදෙස වන්නේ කොරෝනා ආසාදනයට ගොදුරු වූ සියල්ලන්ගේ මෘතදේහ වැළලිය යුතු බවයි. ඉස්ලාම්වාදීන් දෝෂාරෝපණය කරන්නේ මෙය මුසල්මානුවන්ගේ ආගමික හැඟීම්වලට රිදවූ බවටයි.

දේශීය මුස්ලිම්වරුනගේ සහ විදේශිය මුස්ලිම් සංවිධානවල විරුද්ධත්වය කුමක් වුවද ජනාධිපති ගෝඨාභය සහ ඔහුගේ රජය ඔවුන්ගේ තීරණ විමසා බලන්නට සූදානමක් නැත. මෙවැනි තත්ත්වයක් යටතේ රජයේ ඇමැතිවරු සහ විදරුද්ධ පක්ෂය සමඟ මේ පිළිබඳ සැලකිලිමත් වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  ඉස්ලාම්වාදීන්ගේ මෘතදේහ ආදාහනය පිළිබඳ ඔවුන්ගේ මතයන් හුවමාරු කර ගත්තද තවමත් මේ ප්‍රශ්නය විසඳුමකට ළඟා වී නැත.

නොවැම්බර් මස 4 වැනිදා සිට සෑම පාර්ලිමේන්තු සැසිවාරයකදීම මුස්ලිම් සාමාජිකයන් විරුද්ධ පක්ෂයේ සාමාජිකයන්ද සමඟ මුස්ලිම් මෘතදේහ ආදාහනය නොකොට භූමදානය කිරීමට  ඉල්ලා සිටිද්දී අධිකරණ ඇමැති අලි සබ්රි සහ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ ඔවුන් මේ පිළිබඳ අවධානය යොමු කරන බවටය. එහෙත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නැත.

ලොව බලවත් ඉස්ලාම් සංවිධානයක් මේ වනවිටත් ශ්‍රී ලංකාවට උපදෙස් දී ඇත්තේ මේ වසරේ මුල සිට ඇරඹුණු කොරෝනා ව්‍යාප්තියට සම්බන්ධ කරමින් මුස්ලිම්වරුන්ට හිංසා කිරීම නතර කරන ලෙසයි.

මේ මතගැටුම් එසේ පවතිද්දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ කොරෝනාවට ගොදුරු වූවකුගේ දේහය පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට දැකබලා ගැනීමට හැකි අතර ඔවුන්ගේ සිරිත් අනුව භූමදානය කළ හැකි බවයි. කෙසේ වෙතත් එය සඳහන් කළේ මෘතදේහය ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම නොකළ යුතු බවටය. භුමදානයෙන් අනතුරුව නියමිත සෞඛ්‍ය ක්‍රියාවලීන්ට අනුගත විය යුතුය. දෑත් සබන් යොදා ජලයෙන් මනාව සේදිය යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇත්තේ භූමදාන කටයුතුවල නිරත වන අය අත්වැසුම්, මුව ආවරණ සහ ආරක්ෂිත සනීපාරක්ෂක ඇඳුමින් සැරසිය යුතු බවටය. ඉන් අනතුරුව ශරීරාවරණ සහ මුව ආවරණ ඇතුළු සියල්ල විනාශ කර දැමිය යුතුය. දෑත් සහ සිරුර සබන් යොදා සේදිය යුතුය.

ශ්‍රී ලංකාව සැලකූ විට,  කොරෝනාවට ගොදුරු වූ දේහයන් රජයේ නීතී රෙගුලාසිවලට අනුව ආදාහනය කළ යුතු අතර මිනී පෙට්ටියේ වියදම නෑදෑයන් විසින් දැරිය යුතුය. ළඟම ඥාතියකුට මුද්‍රා තබන ලද දේහයට අවසන් ගෞරව දැක්වීමට අවසර ඇත. ඔවුන් ද සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

මේ අවදිය වන විට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක විසින් අගමැතිවරයාට ලිපියක් යොමු කර ඇත. ඔහු පවසා ඇත්තේ “ජනතාව මෘතදේහ භූමදානය කිරීමට කැමැති නම් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයුම් නිර්ණායක සහ දේශීය නීති රෙගුලාසිවලට යටත්ව කළ හැකි අතර එය මෙහෙයවීම සඳහා යොදා ඇති  නිසි සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත විය යුතුය. මුස්ලිම් ජනතාව සිතන්නේ ශ්‍රී ලංකාවේ භූමදාන ප්‍රතිපත්තිය ඔවුන්ට එරෙහිව කරන වෙනස්කමක් ලෙසයි. මේ පසුබිම තුළ භූමදානය ප්‍රතික්ෂේප කිරීම සමාජයේ සාමූහිකත්වයට බලපානු ඇත. මෙය කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම කෙරෙහි විශේෂයෙන් අයහපත් ලෙස බලපානු ඇතැයි මසිතේ බියක් ඇතිවෙයි. එයට හේතුව කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් සෞඛ්‍ය සේවාවන් නිසි ලෙස යොදා ගැනීමෙන් හෝ සන්නිවේදනයෙන් වැළකී සිටිය හැකි බැවිනි.” යනුවෙනි. එසේම ඔහු මේ ප්‍රතිපත්තිය පිළිබඳ නැවත විමසා බලන ලෙස ඉල්ලීමක් කර ඇත. රජයේ අවධානය මෙයට යොමු නොකර වෙනත් දිශාවන්ට යොමු කරන බොහෝ අය සිටියහ.

දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ “වාර්ගික හෝ ආගමික මූලධර්මවාදී කණ්ඩායම්වල ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස දැනට පවතින නීති, ප්‍රතිපත්ති හෝ රෙගුලාසි වෙනස් නොකළ යුතුය” යනුවෙනි. තවද බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, ඉස්ලාම්වාදීන් විශ්වාස කරන්නේ ඔවුන්ගේ සිරුරු භූමදානය කළ විට ඔවුන්ට දිව්‍යලෝකයට යා හැකි බවයි, ඒ නිසායි ඔවුන් මෘතදේහ භූමදානය කිරීමට ඉල්ලන්නේ යැයි පැවසූ අතර එවැනි දෙවි කෙනෙකුන් සිටින්නේ නම් ඔහුට මේ කොරෝනා වෛරසය විනාශ කළහැකි වනු ඇති බවටද කරුණු දැක්වූහ. ඒ අතරම ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් අවධාරණය කළේ “එක ජාතියක් එක නීතියක්” යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උපදෙස් අනුව කොරෝනාවට ගොදුරු වූවන් සියල්ලන්ගේ මෘතදේහ අදාහනය කළ යුතු අතර භූමදානය නොකළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව දැන් ඇති වී ඇති අප්‍රසන්න (දුෂ්කර) වාතාවරණය නම් බහු වාර්ගික සමාජයක සංහිඳියාව  සහ ඒ සඳහා වන විද්‍යාත්මක යෝජනා පිළිබඳ කිසිවක් කතා නොකිරීමත්, එක ජාතියකට සහාය පළ කරන බොහෝ දෙනකු සිටීම සහ එක ආගමක් වෛරයේ බිජුවට පැළ කිරීමත්ය.

 

 

 

 

Leave a Reply