ඔසප් දරිද්‍රතාවය – ශ්‍රී ලාංකීය ස්ත්‍රීන්ගේ සනීපාරක්ෂාව?

කොවිඩ් 19 වසංගතය මඟින් ඇති කළ තර්ජනය, ශ්‍රී ලංකාවේ සියලුදෙනාගේ සාමාන්‍ය ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. 2021 අයවැය මඟින් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් හඳුන්වාදීමත් සමඟ, මේ කාලයේ ආර්ථිකය සහ සනීපාරක්ෂාව දැඩි අභියෝගයකට ලක් වී ඇත. මේවනවිට, ඔසප් දරිද්‍රතාවය වත්මන් ලංකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත. 

ඔසප් සමයේ දී, මූලික සනීපාරක්ෂාව පිළිබඳ දක්වන අවම අවධානය ඔසප් දරිද්‍රතාවය නම් වේ. කාන්තාවන්ගේ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් අනුව, මෙරට ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර රජය මඟින් හඳුන්වාදුන් මෙම බද්ද මඟින් පිළිබිඹු වනුයේ, ස්ත්‍රී සනීපාරක්ෂක අංගයන් හි මිල සම්බන්ධයෙන් යොමුකර ඇති අවම අවධානය යි.   

ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයින් මෙම බද්දට එරෙහිව ඔවුන්ගේ හඬ අවදි කළහ. ස්ත්‍රී පාර්ලිමේන්තු නියෝජිත රෝහිණී කවිරත්න, හරිනි අමරසූරිය සහ ඩයනා ගමගේ එලෙස තම විරුද්ධත්වය ප්‍රකාශ කළ පිරිස අතර විය.  

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කතාකළ හරිනි අමරසූරිය තම කතාව අවසන් කරමින් පැවසුවේ, ඇය පාර්ලිමේන්තුවේ විවේක කාමරය වෙත ගොස්, කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා මාරුකිරීමට වෙන්කර ඇති ස්ථානයේ පින්තූරයක් ගෙන මුහුණුපොතේ පළකළ බව යි. පින්තූරය සමඟ ඇය සඳහන් කළේ, “මගේ කතාවේ දී මම කිව්වේ, පාර්ලිමේන්තුව තුළ දී අපිට සනීපාරක්ෂක තුවා නියමාකාරයෙන් මාරුකිරීමට නොහැකි නම්, රටේ අනෙකුත් කාන්තාවන්ට එය කෙතරම් අපහසු කටයුත්තක් ද යන්න යි. ඔසප් දරිද්‍රතාවයට මුහුණදෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන අපවගේ කාන්තාවන් ඇතුළු ලාංකීය කාන්තාවන් සම්බන්ධයෙන් රජය විසින් වගකීම ගත යුතු යි.” 

හරිනි පෙන්වාදෙනුයේ, ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවාවලට පමණක් සීමාකළ හැකි ගැටළුවක් නොවන බව යි. “බොහෝ කාන්තාවන් ඔසප් කාලයේ දී රැකියාවලට නොයන අතර බොහෝ පාසැල්වල ජලය හෝ වැසිකිළි පහසුකම් නොමැත. එමනිසා, මෙම ගැටළුව සනීපාරක්ෂක තුවාවලට පමණක් සීමා කළ නොහැකි යි ” යනුවෙන් ඇය පැවසී ය. 

2018 සංගණනයට අනුව, ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21.67 කි. මේ අතරින්, 53%ක් කාන්තාවන් වේ. ලංකාවේ මිලියන 12ක කාන්තාවන් සහ ගැහැණු ළමුන් මාසික ශුද්ධි අත්දැකීමට මුහුණ දෙති. පසුගිය වාර්තාවලින් පැහැදිලිවන්නේ, කාන්තාවන් 70%ක ප්‍රමාණයක් ඔසප් දරිද්‍රතාවයට මුහුණදෙන බව යි. 

සෞඛ්‍ය දිරිදීමනා සඳහා වන කාර්යාංශය මඟින් සිදුකළ අධ්‍යයනයකින් තහවුරුවූයේ, ලංකාවේ පාසල්වලින් 25.1%ක ප්‍රමාණවත් තරම් වැසිකිළි පහසුකම් නොමැති බව යි. මෙය පැහැදිලිවම, ගැහැණු ළමුන් පාසැල් පැමිණීම අවමවීමට ඍජුවම දායකවන්නකි. මෙම අපහසුකම් දරාගැනීම වෙනුවට, ඔවුන් අධ්‍යාපනික, ක්‍රීඩා සහ කලා වැඩසටහන් සඳහා සහභාගී නොවී සිටීම වඩාත් හොඳ විකල්පය ලෙස සිත යි. කාන්තාවන් සහ ගැහැණු ළමුන් මෙම තත්ත්තවය තුළට ඇදගැනීමට හේතුවනුයේ, ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම්වල පවතින මිල අධිකකම යි. 

පාර්ලිමේන්තුව තුළ තීරණ ගන්නන්ගෙන් 95%ක් ම පිරිමි පුද්ගලයන් වේ. 1945 නිදහස් අධ්‍යාපනය හඳුන්වාදීමේ දී, ලිංගික අධ්‍යාපනය සහ ප්‍රජනන සනීපාරක්ෂාව සම්බන්ධයෙන් විෂය මාලා තුළට ඇතුළත් කර නොමැත. මෙමඟින් හැඟවෙන්නේ, ඔසප් දරිද්‍රතාවය පිළිබඳව පුරුෂයන්ට අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව යි. 

2018 වනතෙක්, ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා වන බද්ද 100% (101.21%) කටත් වඩා වැඩි ය. සමාජ මාධ්‍යය මඟින් ඇතිකළ විරුද්ධත්වයේ ප්‍රතිඵල වශයෙන්,  ආනයනික බද්දෙන් 30%ක් ඉවත්කිරීමට කටයුතු කළේ ය. 2018 දී රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සිදුකළ අධ්‍යයනයකින් පැහැදිලි වූයේ, මෙරට කාන්තාවන්ගෙන් සනීපාරක්ෂක තුවා සපයාගැනීමේ හැකියාව පවතින්නේ 30%කට පමණක් වන බව යි. අනෙක් 70%ක් වන කාන්තාවන් සහ ගැහැණු දරුවන් සාරි (රෙදි) භාවිතයට නැඹුරු වී ඇත්තේ සනීපාරක්ෂක තුවායන් හි පවතින මිල අධික බව හේතුවෙනි.  

ස්ත්‍රී සනීපාරක්ෂාවට අභියෝගයක් වන මෙම ගැටළුව පිළිබඳව වෛද්‍ය එම්.එන්.එම්. දිල්ෂාන් ගෙන් අප ප්‍රශ්න කළ අතර, ඔහු පැවසුවේ “ඔසප් සමයේ දී පිරිසිදුව සිටීම අත්‍යවශ්‍ය වන අතර, මන්ද එය කාන්තාවන්ගේ ශාරීරික සහ මානසික යහපැවැත්මට හේතු වේ. ඔසප් සමයේ පිරිසිදු බව රඳාපවතිනුයේ ගුණාත්මක සහ සෞඛ්‍යමත් සනීපාරක්ෂක තුවා මත යි. පිරිසිදු තුවා වෙනුවට සාරි (රෙදි) භාවිතය, බොහෝ සෞඛ්‍ය ගැටළු මතුකිරීමට හේතු විය හැකි යි. 

  1. සාරි (රෙදි)වලට රුධිරය උරාගැනීමේ හැකියාව අවම වේ. එමනිසා, එය සාරි (රෙදි) මත ඉතිරිවන අතර, එමඟින් විෂබීජ ආසාදනය වී මුත්‍රා මාර්ගය සහ ප්‍රජනක පද්ධතිය ඔස්සේ ශරීරයට ඇතුල් වී සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. 
  2. රුධිරය සාරි (රෙදි) හරහා ගලාගොස්, ඇඳුම්වල තැවරිය හැකි අතර ඇඳුමෙන් පිටට දෘශ්‍ය විය හැක. මෙය, කාන්තාවන්ට මානසිකව බලපා ඇගේ කාර්යක්ෂමතාවය අඩු වියහැක. 
  3. පිරිසිදු තුවා මාරු කළ හැකි අතර සාරි (රෙදි) එසේ නොවේ. එමනිසා, ඔසප් කාල සීමාව තුළ පිරිසිදු තුවා භාවිතය අත්‍යාවශ්‍ය වේ. 

සනීපාරක්ෂක තුවා ලබාගැනීමට නොහැකි කාන්තාවන් මුහුණදෙන සනීපාරක්ෂක ගැටළු පිළිබඳව අපට මේ ඔස්සේ අවබෝධ කරගත හැකි ය. සනීපාරක්ෂක තුවා නොමිලේ සපයන පළමු රට වන්නේ ස්කොට්ලන්තය යි. අභ්‍යන්තර ගැටුම්, ස්වභාවික විපත්, අන්තවාදී ප්‍රහාර සහ දූෂණ නිසා ලාංකීය ආර්ථිකය දරුණු ඇදවැටීමකට ලක්ව ඇති මොහොතක, සනීපාරක්ෂක තුවා නොමිලේ සැපයීමට රජයේ අවධානය යොමුකළ හැකි ද යන්න අපැහැදිලි ය. නමුත්, ජනතාවට අවශ්‍යවන්නේ අධික බදු බර අහෝසිකිරීම පමණි.  

Leave a Reply