කොරෝනා සමඟ ව්‍යාප්තවන සමාජ ජාලා ඇබ්බැහිය!

අද, සමාජ ජාලා වෙබ්අඩවි බොහෝ ජනයාගේ ජීවිතවල අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. 2020 වනවිට, ලෝකව්‍යාප්ත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය බිලියන 3.6 කි. එම ප්‍රමාණය, ලෝක ජනගහනයෙන් භාගයකි. 2025 වනවිට, මෙම ප්‍රමාණය බිලියන 4.41 දක්වා වර්ධනයවීමක් අපේක්ෂා කර යි. (https://www.statista.com/statistics/278414/number-of-worldwide-social-networkusers/#:~:text=Social%20media%20usage%20is%20one,almost%204.41%20billion%20in%202025.) 

රට වසා තිබූ සහ ඇඳිරිනීතිය පනවපු කාලයන් හි දී, අප අත්දකිමින් සිටිනුයේ හෝ අත්දැක තිබෙන්නේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය, සමස්ත ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිතය ඉහළයාමට  හේතු වී ඇති ආකාරය යි. එය, අප බොහෝදෙනා සමාජ ජාලා අඩවිවලට ඇබ්බැහි කර ඇති බව සඳහන් කීරීම අතිශයෝක්තියක් නොවේ. 

යෞවනයෙක් හෝ තරුණයෙක්, සමාජ ජාලා වෙබ්අඩවිවල දිනකට පැය 4-6 දක්වා ආසන්න කාලයක් සැරිසර යි. එය, යමෙකුගේ කායික සහ මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් සිදු කර යි. 

සමාජ වෙබ්අඩවිවල අවාසි

ලංකාවේ, සමාජ මාධ්‍යයක් ලෙස මුහුණුපොත බොහෝ ජනතාවක් විසින් භාවිතාකර යි. සංඛ්‍යාලේඛනවලට අනුව, 2020 වනවිට ලංකාවේ මුහුණුපොත භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය මිලියන 7.2කි. 

ඉහත සඳහන් කළ පරිදි, මුහුණුපොත බොහෝ ජනතාවගේ ජීවිතවල ප්‍රධාන අංගයක් බවට පත්ව තිබෙන අතර එය ඇබ්බැහියක් බවට පත්වීමට හේතු වී ඇත. එසේවුවත්, සෞඛ්‍යමත් භාවිතයක් සඳහා සැළකිලිමත්වීමේ දී, රට වසා තිබූ කාලයේ දී එකපෙළට පැමිණෙන පුවත් දැනගැනීමට සියළුදෙනා මුහුණුපොත භාවිතා කළ නමුත් අප එහි ඍනාත්මක අංශය පිළිබඳව ද සැළකිලිමත් විය යුතු ය. අනවශ්‍ය මිත්‍ර සබඳතා ව්‍යාප්තිය, ව්‍යාජ පුවත් පළකිරීම සහ බෙදාහැරීම, වර්ගවාදී ප්‍රචාරණය, වෛර සහගත කතා සහ අනවශ්‍ය සබඳතා පවත්වාගෙන යාම ආදිය පුද්ගලයන් සහ ප්‍රජාව සඳහා සෞඛ්‍යමත් නොවන බව අවධාරණය කළ යුතු යි. 

කොරෝනා වෛරසය මෙන්, සමාජ ජාලා අඩවි භාවිතය ජනතාවගේ සියළු වර්ගයන්ට, ආගම්වලට, වයස් කාණ්ඩයන්ට බලපෑම් කළ හැක. මෙසේ, ඔවුන්ගේ වටිනා කාලය අහිමි කරගන්නන් එක් සුවිශේෂී කණ්ඩායමකට පමණක් අයත් වන්නන් නොවේ. 

ඔබ, දුරකථනයක් නොමැති නිසාවෙන් (nomophobia) පීඩාවට පත්ව සිටින්නෙක් ද?

නොමෝෆෝබියා පිළිබඳව ඔබ සිතන්නේ කුමක් ද? එය, පීඩනයට හේතුවන මනෝවිද්‍යාත්මක කැළඹීමක් ලෙස හඳුන්ව යි. ෆෝබියා යනු, අනවශ්‍ය පීඩනයකට පත්වීම යි. එය විවිධාකාරයෙන් සිදුවිය හැක. දැනුවත්ව හෝ නොදැනුවත්ව, අද වනවිට බොහෝදෙනෙකුට තිබෙන රෝගයක් වශයෙන් නොමෝෆෝබියා හඳුන්වාදිය හැක. යම් හේතුවක් නිසා ටිකවේලාවකින්  අපගේ ජංගම දුරකථනය භාවිතා කිරීමට නොහැකිවීමෙන්, අපි කිසියම් පීඩනයකට පත්වන්නේ නම් එය නොමෝෆෝබියා නම් වන මානසික ගැටළුව යි. මෙම රෝගය වළක්වා ගැනීමට අවස්ථාවන් පවතින අතර, එසේ නැතහොත් වෛද්‍ය උපදෙස් අපේක්ෂා කිරීමට සිදු වේ.

නොමෝෆෝබියා හි ලක්ෂණ වන්නේ, උදෑසන අවදි වූ සැනින් ජංගම දුරකථනයක් සෙවීම, නින්දට යාමට පෙර දුරකථනය බැලීම, නිරන්තරයෙන් දුරකථනය ආරෝපණය කිරීම (charging) සහ නිරතරයෙන්ම දුරකථනය තම නිරීක්ෂණය යටතේ පැවතිය යුතු බව සිතීම ආදිය යි. 

ජංගම දුරකථන පදනම් කරගත් අධ්‍යනයන්ට අනුව, තෙවන ලෝක රටවල්වල ජනතාවගෙන් 66%කට ආසන්න ප්‍රමාණයක් මෙම රෝගයෙන් පෙළේ. මනෝවිද්‍යාඥයන්ගේ අදහසවන්නේ, කොරෝනා හේතුවෙන් රටවල් වසා තැබූ කාලයේ දී මෙම රෝග අනුපාතය ඉහළ ගොස් තිබෙන බව යි. 

එය පරෙස්සමින් භාවිතා කරන්නේ කෙසේ ද? 

සමාජ ජාලා අඩවි භාවිතයෙන් වළකින ලෙස බලකර සිටිනවාට වඩා, එය සීමාසහිත භාවිතයකින් තබා ගැනීම සහ වගකීම් සහගත ලෙස භාවිතය වඩාත් යෝග්‍ය වේ. 

සමාජ ජාලා අඩවි පාලනය කරන්නේ කෙසේ ද සහ නිශ්චිත සීමාවක් යටතේ එය භාවිතා කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මනෝචිකිත්සක ලුක්මන් හකීම් විස්තර කළේ ය. 

“සියළුදෙනාම නිවසේ සිටින මේ මොහොතේ, දුරකථන සහ සමාජ ජාලා අඩවි සියල්ලන් සඳහාම  ප්‍රධානතම විනෝදාස්වාදය ලබාදෙන අංගයන් බවට පත්ව ඇත. වැඩ නොමැතිව සිටින මේ මොහොතේ, සමාජ ජාලා අඩවි භාවිතා නොකරන බව කිසිවෙකුටත් පැවසිය නොහැක. නමුත්, එය පාලනයට උපදෙස් ලබාදිය හැක. සාමාන්‍යයෙන්, එක් අයෙකුට දිනකට විනාඩි 45ක් දක්වා සමාජ ජාලා භාවිතා කළ හැක. මෙම කාලය ගැහැණු ළමයි, පිරිමි ළමයි, තරුණයන් සහ වැඩිහිටියන්ට අදාළ වේ. 

දිනකට පැය 3-4කට ආසන්න කාලයක් සමාජ ජාලා අඩවි භාවිතා කිරීම මානසික ගැටළු ඇතිකිරීමට හේතු වේ. කොරෝනා වෛරසය සම්බන්ධ පුවත් දැකීම සහ ඇසීම, මානසික පීඩනය වර්ධනයට හේතු වේ. නිරන්තරයෙන්ම, අපේ කණට ඇසෙනුයේ කොරෝනා පිළිබඳ ඍනාත්මක දේවල් වේ. එමඟින්, අප තුළ අසුබවාදී සිතුවිලි ගොඩනැගේ. මෙයින් වැළකීමට, කොරෝනා සම්බන්ධයෙන් දත්ත විමසා බලනවාට වඩා වෙනත් ප්‍රයෝජනවත් දෙයක් වෙත අවධානය යොමුකිරිම යෝග්‍ය වේ. 

සියළුදෙනාම, මෙය තමන්ට සිය පවුල් පරිසරය සමඟ ගතකිරීමට ලද මහඟු අවස්ථාවක් ලෙස සිතිය යුතු ය. බිරිඳ සහ දරුවන් සමඟ වැඩිකාලයක් ගත කිරීමට උත්සාහ කරන්න. සමාජ ජාලා අඩවි ඔස්සේ ව්‍යාජ සබඳතා ඇති කරගැනීමෙන් බොහෝ පිරිස් නිවසේ සිට ගත කිරීමට තිබෙන මෙම අවස්ථාව අහිමිකර ගනි යි. එසේම, තවත් පිරිස් අසභ්‍ය දේවල් වෙත යොමු වී සිටි යි. යමෙකුට මෙම තත්ත්වයෙන් අත්මිදීමට ස්වයං-කාල භාවිතයෙන් හැකියාව ලැබේ. උදා: රාත්‍රී 9න් පසු දුරකථනය භාවිතා නොකර සිටීමට තීරණය කිරීම. 

කෙසේවෙතත්, මෙවැනි ගැටළු කෙටි කලක් තුළ විසඳිය නොහැක. සියළුදෙනාම මෙයින් ඉවත්ව සිටිය යුතු යි යන්න සිතීම හැරෙන්නට වෙනත් විසඳුමක් නොමැත” යනුවෙන් ඔහු පැවසී ය. 

මනෝවිද්‍යාඥයන්ට අනුව, මේ ආකාරයෙන් සමාජ ජාලා අඩවි භාවිත කරන්නේ නම් එය, අපගේ දෛනික ක්‍රියාකාරකම්වලට එනම් අධ්‍යාපන සහ වෘත්තීය මෙන්ම සාමාන්‍යයෙන් අප කරන දේවල්වලට බලපෑම් නොකර යි. උදාහරණ ලෙස, නෑම සහ කෑම වැනි මූලික අංගයන්ට බලපාන්නේ නම්, එය ඇබ්බැහිවීමකට මගපාදනු ලබ යි. මෙවැනි පුද්ගලයන්, ඔවුන්වම වෙනස් කරගැනීමට නම් ස්වයං-විනයක් ඇති කරගත යුතු යි. 

බටහිර රටවල සමාජ ජාලා අඩවි භාවිතයේ වර්ධනය පිළිබඳව වන සාකච්චාවන් හි දී පෙනීයන්නේ, එහි අසුබවාදී පසුබිම සම්බන්ධයෙන් අඛණ්ඩව අවධානය යොමුකර ඇති ආකාරය යි. නමුත්, ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්වල, සමාජ ජාලා අඩවි භාවිතයේ බලපෑම පිළිබඳව වන සංවාදයන් අවම බව පෙනීයයි. ජනතාව, මේ සම්බන්ධයෙන් දැනුවත්වීම අවශ්‍ය වේ. මෙම අවධානම තරමක් දුරට හෝ අවම කරගත හැක්කේ එමඟින් පමණි.          

  

    

Leave a Reply