කොවිඩ්-19 සහ භූමදානය පිළිබද විවාදයේ තත්වය

2009දී   පැවති සිවිල් යුද්ධය අවසන්වී වසර කීපයක් ගතවීමත් සමග  බොදුබල සේනා වැනි සිංහල මූලදර්මවාදී කණ්ඩායම් විසින් ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව ගෙන ගිය වෛරී මතවාදය හා ක්‍රියාකාරකම් හරහා ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෛරී මතවාදයන් විශාල වශයෙන් ශක්තිමත් කෙරිනි. 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයත් සමග සමාජය තුළ එතෙක් පැවති මුස්ලිම් විරෝධී වෛරී මතවාදයන් නව පිම්මකින් ඉදිරියට පැමිණිනි.  ආගමික විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ  විශේෂ වාර්තාකරු අහමඩ් ෂහීඩ් පසුගිය වසරේ අගෝස්තු මස දිවයින තුළ සිදුකල දින 12ක සංචාරයෙන් පසුව ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරයට පසුව දිවයින තුළ මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සිදුවන වෛරී ප්‍රචාරයන් සම්බන්දයෙන් වහාම පියවර ගන්නා ලෙසයි. 

ලංකාව තුළ මතුවූ පළමු කොවිඩ් 19 රැල්ලත් සමග මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් නැවත වටයකින් වෛරී ප්‍රකාශයන්ගේ වර්ධනයක් දැකිය හැකිවිය. මුස්ලිම් සංවිධාන විසින් පොලිස්පති වරයාට අප්‍රේල් 12 වෙනිදා ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර සිටයේ කොවිඩ් 19 තත්වයත් සමග මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් සිදුවන වෛරී ප්‍රචාරණයන් වෛරී ප්‍රකාශයන් සම්බන්දයෙන් පවතින නීතිය උල්ලංඝනය කෙරෙන බැවින් ඒ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.  පසුගිය අප්‍රේල් 11 වෙනිදා සිට සියලුම කොවිඩ් 19 මරණ ආදාහනය අනිවාර්්‍ය කෙරුනේ මෙවන් පසුබිමකයි.  

ලංකාවේ පළමු කොවිඩ් 19 මරණය වශයෙන් වාර්තාවූයේ මීගමුවේ පෝරුතොට ජීවත්වූ මුස්ලිම් ජාතිකයෙකුගේ මරණයයි. මෙම මුස්ලිම් ජාතිකයාගේ මරණය කොවිඩි ආසාදනය වීමෙන් සිදුවූ මරණයක් නොවන බව පසුව තහවුරු විය. මේ පිලිබදව අමලිනි ද සේරා හා නටාෂා වැන්-සහාෆේ ගේ ‘උපන් බිම් සහ නැවත පැමිණීමේ කතාන්දර’ නැමති වාර්ථාව තුළ පැහැදිලි කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනූකූලව මෙම මරණය සිදුවන මාර්තු 30 දා දක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙහි කොරෝනා ආසාදිතයෙකුගේ දේහය භූමිදානය කිරීම ආරක්ෂිත ක්‍රමවේදයක් වශයෙන් සදහන්කොට තිබිනි.  නමුත් පීසීආර් වාර්ථාවෙන් කොරෝනා ආසාධිතයෙකු වශයෙන් මෙම පුද්ගලයා මියගිය බව තහවුරු වීමටත් පෙර එම පුද්ගලයාගේ ඥාතීන්ව දැනුවත්කිරීමකින් ද තොරවම මෙම දේහය ආදාහනය කෙරිනි. මෙම ආදාහනයත් සමග එතෙක් කොවිඩි 19 සම්බන්දයෙන්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශයන් වෙනස් කරමින් ආදාහනය එකම ආරක්ෂිත ක්‍රමය වශයෙන් සදහන් කෙරිනි. අප්‍රේල් 11 වන දින සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් 19 මරණ ආදාහනය කිරීම අනිවාර්්‍ය කරනු ලැබීය. අප්‍රේල් 13වන දින ෆේස්බුක් හි පළ කල ලිපියක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප්‍රකාශකර සිටියේ මීගමුවේ මුස්ලිම් ජාතිකයාගේ දේහය ඔවුන්ගේ දැදිහිලි වලට අනුකූලව භූමදානයට අවසර නොදී ආදාහනය කිරීම  අවාසනාවන්ත, කණගාටුදායක දෙයක් බවත් එය දැඩිලෙස හෙලා දකින බවයි. 

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පසුගිය දිනක මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්්‍ය මෙත්තිකා විතානගේ මහත්මිය ලංකාවේ භුගත ජලමට්ටමේ ස්වභාවය අනූව කොවිඩ්-19 මරණ භූමිධානය කිරීම හරහා වෛරසය භුගත ජලය හා මුසුවීමෙන් කොවිඩි වෛරසය ව්‍යාප්තවීමේ අවධානමක් සම්බන්දයෙන් වන අදහස් දැක්වීම ප්‍රධාන දාරාවේ සිංහල මාධ්‍ය හා සමාජ මාධ්‍යන් හරහා දැඩි ලෙස සමාජගතවෙමින් පැවතිනි. නමුත් මෙත්තිකා විතානගේ මහත්මිය විසින් අනිද්දා පුවත්පතට ප්‍රකාශ කර සිටියේ භූමදානය සිදු කළහොත් කොවිඩ්19 පැතිරෙනු ඇතැයි තමා කල ප්‍රකාශය තමාගේ පර්යේෂණයක් මත පදනම් වෙමින් කියූ දෙයක් නොවන බවත්, භූමදානයෙන් කොවිඩ්19 පැතිරෙන්නේදැයි සිදුකර ඇති පර්යේෂන පිළිබඳ තමාගේ මතකයේ නොමැති බවත්ය. 

Coronavirus in water environments: Occurrence, persistence and concentration methods – A scoping review නැමැති පර්යේෂණ වාර්තාව විසින් පෙන්වා දෙන්නේ කොවිඩ්-19 වෛරසය ජලය හරහා මිනිස් සිරුරට ආසාදනය වීමේ හැකියාව පිළිබදව මෙතෙක් සනාතවී නොමැ තිබවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය, 2020 මාර්තු 24 වන දින සහ 2020 සැප්තැම්බර් 04 වන දින යාවත්කාලීන කරන ලද අතුරු මාර්ගෝපදේශය, කොවිඩ් 19 සන්දර්භය තුළ මළ සිරුරක් ආරක්ෂාකාරීව කළමනාකරණය කිරීම සදහා ආසාදන ‘වැලැක්වීම සහ පාලනය කිරීම’ යන මාතෘකාව යටතේ, රෝග ලක්ෂණ පිළිබඳ වර්තමාන දැනුම මත පදනම්ව කොවිඩ්19 සහ එහි ප්‍රධාන සම්ප්‍රේෂණ ක්‍රම වන කෙල බිදිති සහ ස්පර්ෂ වීමෙන් හැර, මේවන තෙක් කොවිඩ් 19 මරණයක දේහය හරහා වෛරසය ආසාදනයවීමක් වාර්ථාවී නොමැතිබව පෙන්වාදෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වාර්තාව තවදුරටත් කොවිඩ්19 දේහයන් භූමිදානය කිරීම ආරක්ෂිත ක්‍රමවේදයක් වශයෙන් පෙන්වාදෙයි. 

මේ අතර පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරිකා හනා සිගර් මහත්මියද කොවිඩ් 19 මරණ භූමදානය කිරීම මුස්ලිම් ජනයාගේ මූලික අයිතිවාසිකමක් බව පැහැදිලිකරමින් මේ පිළිබඳව ලිපියක් මගින් අගමැතිවරයාගේ අවධානයට යොමු‍කෙරිනි. 

Leave a Reply