ගවේෂණාත්මක මාධ්යකරණය: මහජනයාගේ පෞද්ගලිකත්වය ආක්රමණය කරන ආකාරය

මිනිස් ඇසට හා විඥාණයට හසු නොවන සංසිද්ධීන් බොහෝමයක් මේ මොහොතේ පවා සමාජයේ සිදුවෙමින් පවතී. එවැනි සිදුවීම්වලින් සමාජයට වන අහිතකර බලපෑම අවම කරනු වස් ජනතාව දැනුවත් කිරීම සඳහා ගවේෂණාත්මක තොරතුරු වාර්තා කිරීම මාධ්‍යකරණයේ මූලික වගකීමයි. එවැනි සිදුවීම්වලට අදාල සත්‍ය තොරතුරු වාර්තා කිරීමේදී කැපී පෙනෙන ලෙසත් ඒකාකාරීවත් වාර්තා කිරීමට බොහෝ මාධ්‍ය ආයතන උත්සහ කරයි. මෙවැනි රහසිගත සමාජ සංසිද්ධීන් ඇතුලත් රූගත කිරීම් හෝ පටිගත කිරීම් අඩංගු පුවත් අන්තර්ගතයන් ඇසීම දැකීමට හා නැරඹීමට ග්‍රාහකයින් බොහෝමයක් වැඩි කැමැත්තක් දක්වයි. මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදි නිදහස් මාධ්‍ය සමාජයක් ගොඩනැංවීමේ අරමුණින් රහසිගතව සඟවා ඇති කැමරාවල පටිගත වන සත්‍ය තොරතුරු වාර්තා කිරීමට උස්සහ කිරීමෙන් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන බැවින් මාධ්‍ය සදාචාරය පිළිබඳවත් විවාදාත්මකය ගැටලු මතු වේ. නමුත් රහසිගත කැමරා භාවිත කරමින් රූගත කිරීම් හෝ පටිගත කිරීම් සිදුකර ගවේෂණාත්මක පුවත් වාර්තා කිරීමෙන් නීතිවිරෝධී අපරාධ බොහොමයක සත්‍ය තත්ත්වය අනාවරණය කරගැනීමට හැකි වී ඇති අතර ඊට එරෙහිව නෛතික පියවර ගැනීමටත් හැකි විය.

මානව අයිතිවාසිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශයේ සඳහන් ආකාරයට පෞද්ගලිකත්වය යනු මූලික මානව අයිතිවාසිකමකි. අනෙක් අතට තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික මානව අයිතිවාසිකම්වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන ආකාරක් හඳුනාගත හැකිය. තවද රහසිගතව සවිකර ඇති කැමරාවලින් කිසිදු තෝරා බේරා ගැනීමකින් තොරව සියලු දත්ත පටිගත කිරීමක් සිදුවන ආකාරය නිරීක්ෂණය කල හැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ප්‍රතිපත්තියක් ලෙස හෝ වාණිජ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා පමණක් භාවිත කරන ආකාරයක් හඳුනාගත හැක. රහසිගත කැමරා හෝ සී.සී.ටී.වී. (CCTV) කැමරා උපකරණ මුල් කාලීන තාක්ෂණික මෙවලමක් ලෙස භාවිත කර ඇත්තේ ආයතන හා ආයතනික භාණ්ඩ ආදියේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිසයි.

රහසිගත කැමරා යනු මාධ්යකරණයේ දී භාවිත කල හැකි වටිනා මෙවලමකි, එය ක්රීඩා භාණ්ඩයක් නොවේ. පිළිබඳව අවතක්සේරුවෙන් නොසිතිය යුතුය” Lourie Few (Global’s 16×9 Investigative Show)

මාධ්‍යකරණයේදී රහසිගත කැමරා භාවිත කිරීමේ මූලික අපේක්ෂාව වන්නේ පටිගත කල හෝ රූගත කිරීම මගින් ලබාගත් තොරතුරු හඹාගොස්, ඒවා අනාවරණය කර, එහි ඇති සමාජමය වටිනාකම, අවධානම හා බරපතලකම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා තොරතුරු වාර්තා කිරීමයි. CBC, Global News, CTV යන මාධ්‍ය ආයතනවල ගවේශණාත්මක පුවත් වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට පමණක් රහසිගත පටිගත කිරීමේ මෙවලම් භාවිත කිරීමට නීත්‍යානුකූල අවසරය ලබා දී ඇති අතර එය මේ වන විට ඔවුන් භාවිත කරන එකම නීත්‍යානුකූල උපකරණයයි. තවද රහසිගත කැමරා භාවිත කරන්නන් හා ඔවුන්ගේ ආයතන වාර්තා කරන පුවත්වල ඇතුලත් අන්තර්ගතයන් පිළිබඳ මහජනයාට වගකීමෙන් බැඳී සිටී.

රහසිගත රූගත කිරීම් හා පටිගත කිරීම් සිදු කරමින් ශ්‍රී ලංකාවේ ගවේෂණාත්මක පුවත් වාර්තාකරණයෙහි නිරත රූපවාහිනී වැඩසටහන් දෙකක් ලෙස හිරු රූපවාහිනි නාලිකාවේ පුවත් විකාශනය තුළින් ඉදිරිපත් කරන ‘CIA’ වැඩසටහන හා ටී.වී දෙරණ රූපවාහිනි නාලිකාවේ පුවත් විකාශනය මගින් ඉදිරිපත් කෙරෙන ‘උකුස්සා’ වැඩසටහන් සඳහන් කල හැකිය. උක්ත ගවේෂණාත්මක වැඩසටහන් දෙක මගින් සමාජයට සුවිශාල සේවයක් ඉටු වේ. තවද සමාජය යහපත් දිශානතියකට යොමු කිරීමටත් එමගින් විශාල දායකත්වයක් සපයන අතර නීති විරෝධී ක්‍රියාවල නියැලෙන්නන්ටත් තම ක්‍රියාවෙහි ඇති බරපලතකම පිළිබඳව ඒත්තු ගන්වයි. මෙවැනි සමාජ සුභසාධන සේවා තුලින් විවිධ ක්ෂේත්‍රයන්, ආයතන හා පුද්ගලයින්ගේ සැබෑ ස්වරූපය සමාජයට අනාවරණය වන නිසා මහජනයාට එවැනි පුද්ගලයින්ගේ වාංචනික ක්‍රියාවලට හසු නොවී කල්තියා ආරක්ෂාව වීමට හැකියාව ලැබේ. ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරුවල පවත්නා රහස්‍යතාවය හේතුවෙන් (විශේෂයෙන්ම වයස අවුරුදු 18 අඩු තැනැත්තන්, අවිවාහක තරුණයින්, බරපතල ගණයේ අපරාධවලට සැකකරුවන් ලෙස නම්කළ පුද්ගලයින්, ප්‍රසිද්ධය පුද්ගලයින්) මාධ්‍ය ආචාරධර්ම, සංස්කෘතිය හා සමජ සාරධර්ම යන කරුණු හමුවේ උක්ත සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නන් දැඩි දුෂ්කරතාවයන්ට හා අභියෝගයන්ට මුහුණ දෙමින් අරගලයක නිරතව සිටී.

නිදසුනක් වශයෙන්, සති අන්තයකදී ජා-ඇල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක් ඉදිරිපිට 63 හැවිරිදි කාන්තාවක් සූදුවෙහි නියැලෙමින් එම පාසලේ ළමුන් සමග අසභ්‍ය වචන භාවිත කරමින් සංවාදයක නිරත වන දර්ශන අඩංගු වීඩියෝවක් 2019 ජනවාරි මස 28 වන දින හිරු රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ C.I.A වැඩසටහන මගින් යූටියුබ් හරහා විකාශ කරන ලදී. අදාල පුවතේ ජා-ඇල ප්‍රදේශයේ පිහිටි එම මිශ්‍ර පාසලේ නම සඳහන් කර නැති නමුත් වීඩියෝවේ ඇතුලත් දර්ශන නැරඹීම මගින් උක්ත පාසල කුමක්ද යන්න පහසුවෙන්ම හඳුනාගත හැක. එම සිදුවීමට අදාල වීඩියෝව විකාශය වීම හේතුවෙන් සමස්ත පාසලම අපහසුතාවයට පත්වූ අතර එමගින් නැවත මෙවැනි සිදුවීමක්සිදුවීම වැලැක්වීමට පාසලට හා පාසල් පරිපාලනයට විශාල උපකාරයක්වූ නමුත් එය කෙතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය. උක්ත සිදුවීම අඩංගු වීඩියෝව මාධ්‍ය මගින් විකාශය වීම නිසා පාසලේ සැබෑ තත්ත්වය හෙළි වී ඇති නමුත් විදුහල්පති ඇතුලු කාර්‍ය මණ්ඩලයේ වගකීම් සහගතභාවය පිළිබඳවත් දරුවන් හා දෙමව්පියන්ට පාසල කෙරෙහි ඇති ගෞරවය පිළිබඳවත් අඛණ්ඩ ගැටලු නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් මෙය එලෙස හෝ වාර්තා නොවුණි නම් මාධ්‍ය තම වගකීමෙන් බැහැර වී ඇති ආකාරයක් නිරූපණය වීමට ඉඩ තිබුණි. මෙය ඉතාමත් සංකීර්ණ තත්ත්වයකි.

(දෘශ්‍ය මූලාශ්‍ර: https://www.youtube.com/watch?v=-FGAuHcAS-Q)

තිස්සමහාරාම ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් පිළිබඳ, රහසිගත කැමරා භාවිත කරමින් පටිගත කරන ලද දර්ශන 2017 දෙසැම්බර් 25 වන දින ටී.වී දෙරණ උකුස්සා වැඩසටහනින් යූටියුබ් හරහා විකාශය කරන ලදී. එහි වෙනත් කිසිඳු ආදායම් මාර්ගයක් නොමැති තරුණ තරුණියන් කිහිප දෙනෙක් දෛනික කුලී පදනම මත වැලි ගොඩකිරීමේ කටයුතුවල නිරතවන අයුරු දැකගත හැකි විය. තවද වැලි ජාවාරම හේතුවෙන් වෙරළ ඛාදනය වීම නිසා එම ප්‍රදේශ අවට වාසය කරන ජනතාව හා තරුණ පිරිස් ආර්ථික වශයෙන් දැඩි අපහසුතාවයන්ට හා දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී. එවැනි අසරණ තරුණ තරුණියන්ගේ පෞද්ගලිකත්වය මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් සිදුවන්නේ අනාගතයේදී ඔවුන්ට වෙනත් රැකියාවකට පිවිසීමට ඇති අවස්ථා අහිමිවීමයි. නමුත් මෙවැනි සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා නොවුණි නම් එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට මෙන්ම පරිසර පද්ධතියටත් එය විශාල තර්ජනයක් වනවා මෙන්ම මාධ්‍ය ආයතන තම වගකීමෙන් බැහැරව ඇති බවටත් චෝදනා නැගෙන්නට ඉඩ තිබුණි. එයත් මානව සමාජය මුහුණ දෙන සංකීර්ණ ගැටලුවකි.

(දෘශ්‍ය මූලාශ්‍ර: https://www.youtube.com/watch?v=qHfWnhfVquM)

රහසිගත කැමරා භාවිත කරමින් රූගත කිරීම් හෝ පටිගත කිරීම් සිදුකර ඒ ඇසුරෙන් ලබා ගන්නා ගවේශණාත්මක තොරතුරු පදනම් කරගනිමින් සමාජයේ සිදුවන නීතිවිරෝධී ක්‍රියාවන්ට විරුද්ධව හඬ අවධි කල හැක. තවද මාධ්‍ය නිදහස පිළිබඳව පැහැදිලි කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම, පෞද්ගලිකත්වය පිළිබඳව අයිතීන් පැහැදිලි කිරීම, කීර්ති නාම ගොඩනැංවීම හා ආර්ථිකය වැනි සමාජීය කාරණා පිළිබඳව ගැඹුරින් සොයා බලා ගවේශණාත්මකව වාර්තා කිරීම මගින් පුළුල් මහජන කථිකාවන් ගොඩ නැංවිය හැක.

රහසිගත කැමරා භාවිත කරමින් පටිගත කිරීම හෝ රූගත කිරීම ක්‍රියාවලින් දෙකක් යටතේ තක්සේරු කල හැකිය: රහසිගත කැමරා භාවිත කරමින් රූගත හෝ පටිගත කිරීම, තොරතුරු ඉදිරිපත් කිරීම හා විකාශනය කරන ලද තොරතුරුවල විනිවිදභාවය තහවුරු කරනු වස් වගකිව යුතු තැනැත්තා හෝ සංස්කාරකවරයා විසින් එහි කතුවැකිය යුක්‍ති සහගත ලෙස සාධාරණීකරනය කිරීමක් හෝ නොකිරීමක් සිදු කල යුතුය. මෙවැනි පුවත් වාර්තා කිරීමේදී මහජන යහපතට බලපෑමක් සිදු නොවන ලෙසත් තනි පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි නොවන ලෙසත් සදාචාරාත්මක සීමාවන් උල්ලංඝනය නොවන ලෙසත් සවිස්තරත්මකව ඉදිරිපත් කල යුතු අතර එමගින් සිදුවන අහිතකර ඵල විපාක පිළිබඳවත් ජනතාව දැනුවත් කල යුතුය. එසේ වාර්තා කිරීමට පෙර ඔහු හෝ ඇයගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය නොවන බවටත් සහතික විය යුතු අතර අදාල පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට හානියක් නොවන සේ එම තැනැත්තාගේ මුහුණ අපැහැදිලි ලෙස පෙන්වීමත්, විශේෂයෙන් කුඩා ළමුන් විසින් අනුකරණය කිරීමට නොසුදුසු හැසිරීම් රටා බොඳ කර හෝ අවම වශයෙන් ඉදිරිපත් කිරීමත් සිදු කළ හැකිය.

 

 

 

 

Leave a Reply