දේශපාලනය ජනතාවාදී විනා ජාතිවාදී නොවනු වස්

2020 අගෝස්තු 23 වන දින අරුණ පුවත්පතෙහි  “ වන්නියෙන් ඡන්දය ඉල්ලූ සිංහලයන්ට මොකද වුණේ? ” යන ශීර්ෂය සහිතව පළ වූ ලිපිය හා සබැඳිව

1a

සමාජ සන්දර්භයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජය පිළිබඳ අධ්‍යනය කිරීමේදී ජන විවිධත්වය කෙරෙහි අවධානය යොමු කළ යුතු ම ය. ජන වර්ගය, ආගම, කුලය, මෙන් ම භූගෝලීය වශයෙන් උඩරට පහතරට වශයෙන් ද මෙරට ජන සමාජයෙහි විවිධතා පවතියි. මානව සමාජයක් වශයෙන් එවැනි විවිධත්වයක් තිබීම කිසිසේත් ම අනවශ්‍ය වූවක් හෝ නොවිය යුත්තක් යැයි කීම යුක්තිසහගත නොවේ. විවිධත්වයකින් යුතු ජන සමාජය විචිත්‍රය.

සමාජීය වශයෙන් එය එසේ වුවද රාජ්‍ය පාලනය, මහජන සේවා සැපයීම සහ නීතිය ක්‍රියාත්මක වීම යන අවස්ථාවල දී උක්ත සඳහන් විවිධත්වය ඉක්මවන ලද සමස්ත පුරවැසියා වෙත ඒකරූපී ලෙස බලපවත්වන රාමුවක් වශයෙන් කටයුතු කිරීම යුකතිසහගත වන්නේ ය. සංස්කෘතිකමය වශයෙන් වන විවිධත්වය නොසලකා හැරීමක් මින් අදහස් නොවේ. ඒ සියල්ලට හිමි නිසි ගෞරවය ලබා දෙන අතර ම මනුෂ්‍යයින් වශයෙන්, රටේ පුරවැසියන් වශයෙන් කවරෙකුට වුව ද හිමි විය යුතුව ඇති සමාන අවස්ථා සහ වරප්‍රසාද අභියෝගයට ලක්වී තිබීම නෙසලකා නොහැරිය යුතු කරුණකි. දේශපාලනික වපසරිය තුළ වර්ගවාදීත්වය පදනම් කරගත් පක්ෂ නිර්මාණය වී අනතුරුව පුරවැසියාට සම තලයක සිට තම පරමාධිපත්‍ය බලය භාවිත කරන ලෙස පැවසීම අතිශයින් ම අර්බුදකාරී වන්නේය.

ඉහත සඳහන් කළ ලිපියෙන් අවධානය යොමු කර ඇත්තේ  2020 පාර්ලිමේන්තු මැතිවරණයෙදී වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  සිංහල ජාතිකයෙකුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වීම පිළිබඳව ය. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 කි. මැතිවරණ දිස්ත්‍රික්ක 22 කි. ඒ කවර අයුරකින් සැලකුව ද සෑම දිස්ත්‍රික්කයක ම පාහේ සිංහල, දෙමළ සහ මුස්ළිම් යන ප්‍රධාන ජන වර්ග ත්‍රිත්වය ම අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වී සිටිති. එබැවින් මැතිවරණයකදී කවර දිස්ත්‍රික්කයකින් වුව ද කවර ජන වර්ගයකට අයත් අයෙකුට වුව ද මැතිවරණයට ඉදිරිපත් වීමට නෛතික හෝ සාමාජීය බාධාවක් නොමැති විය යුතුය. නමුත් එක් එක් ජන වර්ගවල ජනගහණය සහ ව්‍යාප්තිය අනුව යම් ජන වර්ගයක් බහුතරය වීම සිදු වේ.

නමුත් මැතිවරණයකදී අපේකෂකයන් තෝරා ගැනීමට ජන වර්ගය බලපෑම් සහගත කරුණක් නොවිය යුතුය. එහි දී සිටිය යුත්තේ ජනතා නියෝජිතයන් සහ පුරවැසියන් ය. ඡන්දය සලකුණු කිරීමෙන් පසු ඡන්ද දායකයා සිංහල ද දෙමළ ද මුස්ළිම් ද ආදී වශයෙන් හඳුනා ගැනීමක් සිදු නොවේ. වලංගු ඡන්ද මඟින් අපේක්ෂකයන් තේරී පත් වේ. එතැන් සිට ජනතා නියෝජිතයෙකු වශයෙන් ඔහු නියෝජනය කළ යුත්තේ තමාට මනාපය පල කළ නොකළ සමස්ත ජනතාවම ය. ඒ විනා තමා අයත් ජන වර්ගය හෝ ආගම අදහන පිරිස පමණක් යැයි සිතනනේ නම් එය අතිශය නොදියුණු සිතුවිල්ලකි.

ජන වර්ග අනුව සැලකීමේදී වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජනයා බහුතර වශයෙන් ජීවත් වේ. මෙවර මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයට හිමි ආසන හය ඉලංගෛ තමිල් අරසු පක්ෂයට තුනක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්ක ද සමගි ජන බලවේගයට එකක් ද ඊ.පී.ඩී.පී පක්ෂයට එකක් ද වශයෙන් බෙදී ගොස් ඇත. ජාතීන් වශයෙන් සැලකූ විට දෙමළ ජාතිකයන් සිව් දෙනෙකු හා මුස්ළිම් ජාතිකයන් දෙදෙනෙකි. සිංහල ජාතිකයන් ද මැතිවරණයට තරග කළ ද ආසනයක් දිනා ගැනීමට නොහැකි වීම පිළිබඳ උක්ත ලිපියෙහි විස්තර කොට ඇත. සුළුතර සිංහල ප්‍රජාවක් වාසය කරන වන්නි දිස්ත්‍රික්කයට සිංහල මංත්‍රීවරයෙකු අහිමි වීම පිළිබඳ පමණක් මෙලෙස විශේෂ කොට සාකච්ඡා කිරීම කෙතරම් යුක්තිසහගත ද යන්න මෙහිලා අවධානය යොමු කළ යුතු කරුණ වේ.

මෙවර මැතිවරණයෙහි පාර්ලිමේන්තු ආසන බෙදී යාම සැලකීමේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 8ක ම කිසිදු පක්ෂයකින් දෙමළ හෝ මුස්ළිම් මන්ත්‍රීවරයෙකු තේරී පත් වී නැත. රත්නපුර, කළුතර. ගාල්ල, මාතලේ, මාතර, කුරුණෑගල, හම්බන්තොට සහ මොනරාගල එම දිස්ත්‍රික්ක වේ. මෙම සියලු ම දිස්ත්‍රික්කවල දෙමළ සහ මුස්ළිම් ජනයා සුළුතරය වශයෙන් වාසය කරති. වන්නි දිස්ත්‍රික්කයේ තත්ත්වය මෙම දිස්ත්‍රික්කවලට සමපාත කර සැලකුවහොත් මෙම දිස්ත්‍රික්කවලින් දෙමළ සහ මුස්ළිම් මන්ත්‍රී නියොජනයක්  නොමැති වීම පිළිබඳව ද සාකචඡා කළ යුතු ය. එය කිසිසේත් ම සාධාරණ කතිකාවතක් නොවන්නේය යන්න සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන කවරෙකුට වුව ද පැහැදිලි කරුණකි. මැතිවරණය පුරවැසියා බලගන්වන ප්‍රවාහයක් මිස පටු ගෝත්‍රවාදී සංකල්ප අර්ථ ගන්වන්නක් වශයන් භාවිත නොවිය යුතුය .

වන්නි දිස්ත්‍රික්කය ත්‍රස්තවාදී ක්‍රියා පැවති සමයේදී වැඩි වශයෙන් පීඩාවට පත් වූ දිස්ත්‍රික්කයක් බව අප අමතක නොකළ යුතුය. එහි ජීවත් වන සිංහල ජනයා ඹවුන් සිංහල වීම මත පීඩාවට පත් වීමට ඉඩ ඇති බව ද අප පිළිගත යුතුය. එමෙන් ම සිංහල බහුතර ප්‍රජාව ජීවත් වන අනෙකුත් ප්‍රදේශවල දී දෙමළ හා මුසළිම් ජනයා ඹවුන  දෙමළ හා මුස්ළිම් වීම මත පීඩාවට පත් වීමට ද එලෙස ම  ඉඩ ඇති බව ද අප පිළිගැනීමට තරම් අප මානුෂවාදී විය යුතුය. සියලු ජන වර්ග වෙත සමාන ලෙස ජීවත් වීමට ඇති අයිතිය සියලු දෙනා විසින් ම පිළිගැනීම මෙම අර්බුදය විසඳීමෙහිලා ඇති මූලික ම පියවර වන්නේය.

අනෙක් අතට මෙරට ජනයා දේශපාලකයිනගේ ක්‍රියාකලාපය නිසා පීඩාවට පත් වන්නේ ජාති ආගම් භේදයකින් තොරව ය.දේශපාලකයන් අතර ජාති ආගම් භේද කිසිවක් නොමැත. එහෙත් ජනතාව භේද වී වෙන් වී සිටින තාක් ජනතාවගෙන් ඔවුන්ට ඇති බලපෑම අවම ය. එබැවින් දේශපාලකයා තම පටු අරමුණු සාක්ෂාත් කරගනු වස් ජනතාව වෙන්කොට ඔවුනොවුන් අතර ගැටුම් ඇතිකොට පවත්වා ගැනීමට වෙහෙස වන්නේය. ජනතාව වටහා ගත යුතු සත්‍ය මෙය වේ. පාලකයා හා ජනතාව අතර පාලම ගොඩ නගන ජනමාධ්‍ය විසින් ජනතාවට මෙම සත්‍ය හෙළි කළ යුතුව ඇත. තව දුරටත් පාලකයාගේ අවශ්‍යතාව මත නොව ජනතා අභිලාශයන් වෙනුවෙන් ජනමාධ්‍ය පෙනී සිටිය යුතුව ඇත.

වන්නි ජනතාවට සිංහල මන්ත්‍රීවරයෙකු නොමැති වීම නොව දේශපාලනික තීන්දු තීරණ නිසා ඹවුන් පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ, ඹවුන්ට ඇති දුෂ්කරතා පිළිබඳ සොයා බලා අනාවරණය කළේ නම් එය අගනේය. වන්නියේ සිංහල ජනයාට දුෂ්කර ජීවිතයක් උරුම වී ඇත්තේ ඇතතේ සිංහල මන්ත්‍රීවරයෙකු නොමැති වීම මත නම් සිංහල මන්ත්‍රීවරු ඇමතිවරු දුසිම් ගණනින් සිටින අනෙන් ප්‍රාද්ශවල සිංහල ජනයාගේ සියලු ප්‍රශ්න විසඳී තිබිය යුතුය. දමිළ මන්ත්‍රීවරු බහුල උතුරේත් මුස්ළිම් මන්ත්‍රීවරු බහුල නැගෙනහිරත් ඒ ඒ ජනයාගේ ගැටලු සියල්ල ද විසඳී තිබිය යුතුය. නමුත් යථාර්ථය ඊට බෙහෙවින් වෙනස්ය. නිවාස නොමැති වීම, රැකියා විරහිත බව, ජලය විදුලිය වැනි මූලික පහසුකම් නොමැති වීම, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් නොමැති වීම වැනි කුදු මහත් ගැටලුවලින් මෙරට ජනයා පීඩා විඳිනුයේ කිසිඳු ජාති, ආගම් භේදයකින් ‍තොරව ය.

ගැටලුව ඇත්තේ ජාතියෙහි හෝ ආගමෙහි නොව දේශපාලන භාවිතාවෙහි හා දේශපාලන මාධ්‍ය භාවිතාවෙහි බව වටහා ගැනීම ම සැබෑ ජන හිතෛශී රටක් සහ පාලනයක් වෙත යන ගමනට රුකුලක් වනු ඇත.

Leave a Reply