නීති විද්‍යාල ප්‍රවේශය සහ ඉස්ලාමී ත්‍රස්තවාදය අතර සම්බන්ධයක් නැහැ

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට තේරෙන සිසුන් අතර මුස්ලිම් සිසුන් සංඛ්‍යාව වැඩි වෙමින් ඇති බව ද, එය සිදු වන්නේ සැලසුම් සහගත තත්වයක් තුළ බව ද හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කර තිබේ. 2019 පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂම හමුවේ ඔහු මෙම ප්‍රකාශය කළ බව ඉංග්‍රීසි පුවත්පතක් විසින් වාර්තා කර තිබිණි. ඔහු පවසන පරිදි මේ අන්දමින් නීති විද්‍යාලයට ඇතුළත් වීමේ අරමුණ වන්නේ වැදගත් දෙපාර්තමේන්තුවල ඉහළ තනතුරු අල්ලා ගැනීම වන අතර, ඒ පිළිබඳ විමර්ශනයක් සිදු කළ යුතුව තිබේ.

2019 අප්‍රේල් 21දා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් පසු, මුස්ලිම් ප්‍රජාව පිළිබඳ සැකයෙන් යුතුව කරන ප්‍රකාශ බහුල වී තිබේ. ඉහත සඳහන් කරන තොරතුර ද එවැන්නකි. එමගින් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ඇති අතර, ඉහළ නිලධාරියකු විසින් ඉදිරිපත් කරන ලද එවැනි පදනම් විරහිත මතයක් සඳහා ජාතික මාධ්‍ය ආයතනයක පුවත්පතක් මගින් ප්‍රමුඛත්වය ලබා දීම ගුණාත්මක පුවත්පත් කලාවට ද අපහාසයක් ලෙස සැලකිය යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හිමිකම් හා සම්බන්ධ 14(1)(1) වගන්තිය මගින් කතා කිරීමේ, ලිවීමේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබේ. එහෙත්, පදනම් විරහිත ප්‍රකාශනයක් මගින් ප්‍රජාවක හැඟීම් ඇවිස්සීම හා  බහුතර ප්‍රජාව නොමග යවමින් කිසියම් සුළුතර ප්‍රජාවකට එරෙහිව කුපිත කිරීම බරපතල වරදකි.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව නීති ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් පළ කළේ නීති විද්‍යාලය පිහිටුවන ලද මුල් කාලයේ සිට ම ය. උදාහරණයක් ලෙස අක්බාර්, ඒ.එල්.එම්. හෂීම්, එච්.ජී. අමීන් වැනි ප්‍රධාන පෙළේ විනිසුරුවරුන් මුස්ලිම් ප්‍රජාව වෙතින් නිර්මාණය වූ අයයි. එහෙත් මුල් යුගයේදී, මුස්ලිම් සිසුන් අතරින් බහුතරය නීති අධ්‍යාපනය කෙරෙහි එතරම් උනන්දුවක් දැක්වූයේ නැත.

2000 වසරෙන් පසු, ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව තුළ අධ්‍යාපනයේ පුනරුදයක් ඇති විය. ජාත්‍යන්තර පාසල් ව්‍යාප්ත වීම, මුස්ලිම් පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම, ශාස්ත්‍රාලීය ශික්ෂාවන් කෙරෙහි උනන්දුව සහ උසස් අධ්‍යාපනය සඳහා පහසුකම් සහ අවස්ථා වැඩි වීම මුස්ලිම් සිසුන් අධ්‍යාපනය කෙරෙහි උනන්දුව වැඩි වීමට හේතු විය. එසේම, මුස්ලිම් ප්‍රජාව තුළ බුද්ධිමය දැනුවත්භාවයෙහි වර්ධනයක් සිදු වීම ද එයට බලපෑවේ ය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව වසර 1,200කට වැඩි ඉතිහාසයක් පුරා හුදු වෙළඳ ප්‍රජාවක් ලෙස පමණක් පැවතුණ ද, 19වන සියවස අග භාගයේ සිට එම තත්වය වෙනස් වෙමින්, දැනුම ගවේෂණයට වැඩි උනන්දුවක් ඇති වී තිබේ.

රටේ ලක්ෂ 44ක් වන පාසල් සිසුන් අතරින් ලක්ෂ අටකට වඩා සිසුන් මුස්ලිම් ය. අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසු මෙම සිසුන් අතරින් සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යාපනයට යොමු වේ. සෑම වසරක ම නීති විද්‍යාල විභාගයට පෙනී සිටින සිසුන් දහස් ගණනක් අතරින් තෝරා ගනු ලබන්නේ 200කට අඩු සංඛ්‍යාවකි. මුස්ලිම් සිසුන් ද මෙම විභාගයට පෙනී සිටින අතර නීති විද්‍යාල ප්‍රවේශය හිමි වන්නේ සුළු පිරිසකට පමණි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසූ පරිදි, 2003 වසරේදී මුස්ලිම් සිසුන් තිදෙනෙකු පමණක් නීති විද්‍යාලයට ඇතුළත් වූ අතර, 2012 වන විට එය 78 දක්වා වැඩි විය. මෙම ශීඝ්‍ර වැඩි වීම හේතුවෙන් එය පසුබිමෙහි ඉස්ලාමීය මූලධර්මවාදය හෝ ත්‍රස්තවාදය පැවතිය හැකි බවට සැක මතු කරන ලදී.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ජනවාර්ගික ප්‍රජාවන්ට අධ්‍යාපනය සඳහා තිබෙන අයිතිය හා සමාන අයිතියක් මුස්ලිම් ප්‍රජාවට නැද්ද? අධ්‍යාපනය සඳහා තිබෙන අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරන ලද මූලික අයිතිවාසිකමකි. එම සංදර්භය තුළ මුස්ලිම් සිසුන් පමණක් සැකයට භාජනය වන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ජීවත් වන වෙනස් ජනවාර්ගික ප්‍රජාවක් වීම හේතුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කර තිබෙන අධ්‍යාපන හිමිකම මුස්ලිම් ප්‍රජාවට අහිමි කළ හැකි ද? ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් මූලධර්මවාදයට මුවා වෙමින් මුස්ලිම් ප්‍රජාවේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීම ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනයකි.

උගත් මුස්ලිම් ජනයා නීතිය, අධ්‍යාපනය, ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව හා ගිනුම්කරණය වැනි ක්ෂේත්‍ර රැසක බැබලෙන කාර්යභාරයක් ඉටු කරති. මුස්ලිම් ජනයාට රටේ පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව නොලැබේ නම්, එය අපරාධයකි.

1983 ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට එරෙහිව මුදා හරින ලද ප්‍රචණ්ඩත්වයෙන් පසු, උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනයා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා බොහෝ තනතුරුවලින් ඉවත් කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, දෙමළ ප්‍රජාවේ දහස් ගණනක් බුද්ධිමත්තු විදේශ රටවලට සංක්‍රමණය වූ හ. එමගින් ජාතියට ඇති වූ නරක නාමය අති විශාල ය. වර්තමානයේදී, ඒ හා සමාන ලෙස ම මුස්ලිම් ප්‍රජාව දෙස ද සැකයෙන් බලමින් තිබේ.

රජය විසින් අනුමත කරන ලද සීමිත තරග විභාගයක් මගින් නීති විද්‍යාලයට සිසුන් තෝරාගනු ලැබේ. නීති විද්‍යාලය මගින් පවත්වනු ලබන මෙම විභාගයෙන් ඉහළ ම ලකුණු ලබාගන්නා සිසුන් දක්ෂතාව මත පදනම්ව නීති විද්‍යාලයට ඇතුළත් කරගනු ලැබේ. නීතිය ඉගෙනීමේ හා රටේ හොඳම නීතීඥයන් බවට පත් වීමේ උන්නතිකාමය හැර වෙනත් පසුබිම් හේතු මෙම බඳවාගැනීම්වලට අදාළ වන්නේ නැත.

පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට හේතුව වන්නේ මුස්ලිම් සිසුන් නීතීඥයන් බවට පත්වීම කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් යුතු වාර්ගික අගතියයි. එවැනි මතවාද හා ක්‍රියා දැඩි ලෙස හෙළා දැකිය යුතු ය. වර්තමාන මාධ්‍ය තුළ ප්‍රවෘත්ති සහ තොරතුරු සඳහා විශාල ඉල්ලමක් තිබේ. එම ඉල්ලුම වෙනුවෙන් සපයනු ලබන ඇතැම් ප්‍රවෘත්ති මගින් වාර්ගික සැක සංකා සහ ගැටුම් නිර්මාණය විය හැකි ය.

මෙවැනි ක්‍රියාවන්ගේ අරමුණ වන්නේ බහුතර සිංහල ජනයා, පාලකයන් හා නිලධාරීන් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි සැකය හා එදිරිවාදී හැඟීම් ඇවිස්සීමයි.

කිසිදු තත්වයක් යටතේ ජනමාධ්‍ය විසින් සමාජ වගකීම් අත් නොහළ යුතු බව ජනමාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයන්හි දැක්වේ. තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ මෙවලමක් වන ජනමාධ්‍ය විසින් සමාජය කෙරෙහි තිබෙන සදාචාරාත්මක වගකීම් උල්ලංඝනය නොකළ යුතු ය. ජනවාර්ගික ගැටුම් ඇති වීමට හේතු වන වාර්ගික අගතීන් මතු කරන තොරතුරු මුදාහැරීමේදී ජනමාධ්‍ය වඩාත් පරීක්ෂාවෙන් කටයුතු කළ යුතු ය.

 

 

 

Leave a Reply