ප්‍රතිසංධානය සහ ශ්‍රී ලංකාව

කුමක්ද මේ ප්‍රතිසංධානය?

සරලව ගත් කල ප්‍රතිසංධානය යනු යම් පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර ඇති අදහස් එක සම්මුතියක් කරා ගෙන ඒම ය. නමුත් සංක්‍රාන්තික යුක්තිය යන සංකීර්ණ ක්‍රියාවලිය තුළ ප්‍රතිසංධානය යන්නට ගැඹුරු අදහසක් හිමිවේ. එනම්, විශාල වශයෙන් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධි දාමයකට පසුව එයට පසුබිම්වූ පුද්ගල කොට්ඨාස අතර සබඳතා යළි ඉදිකිරීමයි.

මෙය ‘සිහින්’ සහ ‘ඝන’ යනුවෙන් කොටස් දෙකකට බෙදා හැඳින්විය හැක. පුද්ගලයෙක් තුළ, පුද්ගලයින් කණ්ඩායම් අතර, සමාජ-දේශපාලන වශයෙන් හෝ ආයතනික වශයෙන්, විශ්වාසය, ගෞරවය සහ බෙදාහදාගත් වටිනාකම් නොමැතිකම හෝ අඩුවීමට පිළියම් යෙදීම ‘සිහින්’ ප්‍රතිසංධානය ලෙස හැඳින්වේ. එමෙන් ම, වෙනස්කොට සැලකීමට හෝ වෙන්කිරීමට හේතුවූ කාරණා මුලිනුපුටා දමමින් වින්දිතයින් නැවතත් අයිතිවාසිකම් හිමි පුරවැසියන් බවට පත් කිරීමේ ක්‍රියාවලිය ‘ඝන’ ප්‍රතිසංධානය නම් වේ. කෙසේවෙතත්, ප්‍රතිසංධානය යනු සංක්‍රාන්තික යුක්තියේ එක වැදගත් අරමුණක් පමණක් වන අතර ඒවා එකිනෙකාගේ පසුබිම් තුළ අදාළ කරගත යුතුවේ. 

ජාත්‍යන්තරයේ උදාහරණ

ප්‍රතිසංධානයට අදාළව ශ්‍රී ලංකාවට වඩාත් සමීපතම උදාහරණ සපයන රටකි සියෙරා ලියොන්. දස වසරකට ආසන්න කාලයක් තිස්සේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් ජිවිත සහ දේපළවලින් එරට වැසියන්ට වන්දි ගෙවීමට සිදුවිය. විශේෂයෙන් ම ‘විප්ලවීය එක්සත් පෙරමුණ’ සහ රජයේ සහය ලත් හමුදා, දෙපාර්ශවයම එක්ව මේ කාලය තුළදී ළමා සොල්දාදුවන් 10,000 කට අධික පිරිසක් යුධමය කටයුතුවලට සම්බන්ධ කරගෙන තිබුණි. එකලදී ඉතාමත් ම්ලේච්ඡ ක්‍රියාවන්ට දායක වූ මේ දරුවන් පසුව ප්‍රතිසංධානය ක්‍රියාවලියට යොදා ගැනීමට විශේෂ වැඩපිළිවෙලවල් එරට ක්‍රියාත්මක වුයේ, ඔවුන් යුද්ධයේ වින්දිතයන්, චුදිතයන් පමණක් නොව අනාගත සමාජය ගොඩනැගීමේ ක්‍රියාවලියේ සුවිශේෂී ක්‍රියාදරයන් ද වන බැවිනි. එහි දී ළමා අයිතිවාසිකම් පනතක් 2007දි සම්මත කරගැනීම, රජයේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාව මත විශේෂ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීම හා සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සිදුවිය. 

මිට අමතරව පේරු රාජ්‍යයේ ‘ෂයිනින් පාත්’ ත්‍රස්තවාදය මෙන්ම එය මැඩපැවත්වීමෙන් පසුව සිදුවූ එරට ඒකාධිපති රාජ්‍ය නායක ෆුජිමෝරිගේ දුෂිත රාජ්‍ය පාලනය හේතුවෙන් ද පිඩාවට පත් ජනතාව ප්‍රතිසංධානගත කිරීමේ ක්‍රියාවලිය ද ලංකාවට මනා උදාහරණ සපයයි. සත්‍යය කොමිසමක් පිහිටුවීම, අතුරුදන් වූවන් පිලිබඳ සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, රජයේ ඉහළම නිලධාරියාගේ සිට ජනතාව පෙළීමට සම්බන්ධ වූ අය අපරාධ නඩු ක්‍රියාවලියකට යටත් කිරීම මෙන්ම අතීත මතක සංරක්ෂණය කිරීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් සිදු කිරම තුළින් පේරු වැසියන් තුල සමගිය ස්ථාපිත කිරීමට කටයුතු සිදුවිය. 

ශ්‍රී ලංකාවට ප්‍රතිසංධානය අවශ්‍ය ද? 

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයක් ගැන කතාකළ විටම අපට සිහිවන්නේ තිස් අවුරුදු යුද්ධයයි. නමුත් ලංකාවට ප්‍රතිසංධානය අවශ්‍ය වූ අවස්ථා රාශියක් අතීතයේ ඉතිරිව ඇත්තේ ය. ඒවාට නිසි පිළියම් නොයෙදීමේ එක් අඳුරු ප්‍රතිඵලයකි සිවිල් යුද්ධය. සිංහල-මුස්ලිම් කෝලහාල, 71 කැරැල්ල, කළු ජූලිය ආදිය මෙවන් අවස්ථා වලට කදිම උදාහරණ ය. පසුගිය වසරේ සිදුවූ පාස්කු ප්‍රහාරය ලංකාව අත්දුටු සමීපතම ත්‍රස්තවාදී අත්දැකීමයි. මානව හිමිකම් සී සීකඩ විසිරවූ මේ සියල්ලෙහි මූල ලෙස අළුයට සැඟව සිටින හේතුන් වන්නේ ඒ එක් එක් සමාජ කොටස් කාලාන්තරයක් තිස්සේ අත්දකින වෙනස්කොට සැලකීම්, සමාජ අසාධාරණයන්, දේශපාලන-ආර්ථික ගැටළු මෙන්ම, අතීතයේ ඔවුන්ට සිදුවූ අකටයුතුකම්වලට නිසි පිළිතුරක්, වන්දියක් හෝ සමාවක් අදාළ වගකිවයුත්තන්ගෙන් නොලැබීමයි. එබැවින්, විවිධත්වයෙන් සපිරුණු බහුවාර්ගික, බහු ආගමික රටක් ලෙස ලංකාවට, මේ එක එක ජනකොටස් වලට යුක්තිය ඉටුකිරීමේ වගකීමක් සහ අවශ්‍යතාවයක් අනිවාර්යයෙන් ම පවතී. එහිලා ප්‍රතිසංධානයට ඉටු කළ හැකි කාර්යභාරය අතිමහත් ය. 

ශ්‍රී ලංකාව මෙතෙක් ගත් ක්‍රියාමාර්ග 

2015 වර්ෂය ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තික යුක්තිය උදෙසා කටයුතු කිරීමේ හැරවුම් ලක්ෂයක් බවට පත්විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතය උකහා ගැනීමත් සමග අතීත මානව හිමිකම් කඩකිරීම් වලට නිසි පිළියම් යෙදීම උදෙසා අධිකරණමය සහ අධිකරණමය නොවන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ලංකා රජය එකඟ විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස අතුරුදන් වූවන්ගේ කොමිසම, සත්‍යය සහ ප්‍රතිසංධාන කොමිසම, වන්දි පිරිනැමීමේ ක්‍රියාවලියක් ඇති කිරීමත්, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සම්මත කරගැනීමත් මූලික වශයෙන් සිදුවූ වැදගත් වෙනස්කම් ලෙස හඳුනා ගත හැක. මේ ඔස්සේ අතීතයේ සිදුවූ සිද්ධීන් හේතුවෙන් මානව හිමිකම් කඩවූ ජන කොට්ටාස වලට තමන්ට යුක්ත්තිය ඉටුවේ’යැයි බලාපොරොත්තු දල්වා ගැනීමට හැකි විය. සංක්‍රාන්තික යුක්තියේ පාදම් කණුවක් වන, නැවත නැවතත් විශාල ඝනයේ මානව හිමිකම් කඩවීම් ඇතිවීම වැළක්වීමට අදාළව ප්‍රතිසංධානය යන අරමුණ සාක්ෂාත් කරගැනීම ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කළයුතු වේ. නමුත් අදවන විට ප්‍රතිසංධාන ක්‍රියාවලිය අඩපණ කරමින් මේ බොහෝ ආයතන සහ ක්‍රියාවලි අඩාලව ක්‍රියාවිරහිත තත්ත්වයේ පැවතීම කණගාටුවට කාරණාවකි. 

 

Leave a Reply