මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට අභියෝගයක් වූ ව්‍යාජ ප්‍රවෘත්ති

තාක්ෂණයේ වේගවත් විකාශනය සමඟ එහි සුරක්ෂිතභාවය ඊට සමාන වේගයකින් නොපවතින බවට විශාලතම සාක්ෂිය වන්නේ අද අප මුහුණ දෙන ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ තර්ජනයයි. විශ්ලේෂකයන් පවසන ආකාරයට අන්තර්ජාලයේ සුගම පැවැත්මට වැරැදි පුවත් අයහපත් ලෙස බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දෙන අතර ඒවා සමඟ ගනුදෙනු කිරීම සඳහා ඇති දැනුමේ ඌනතාව ඒවායේ පැතිරීමට හේතුවයි.

පරියේෂකයන්

වාර්තාවලින් පවසන්නේ අද වන විට ශ්‍රී ලංකාව තුළ මුහුණු පොත් (ෆේස් බුක්) ගිණුම් මිලියන 1.2ක් ව්‍යාජ ඒවා බවයි. ඒවායින් බහුතරයක් ගිණුම් සහ පිටු පවත්වාගෙන යන්නේ හාස්‍යය, ජාතිවාදය (වර්ගවාදය), ව්‍යාපාර සහ ලිංගික අවශ්‍යතා සඳහාය. බස්නාහිර පළාතේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මඟින් මෑතක කරන ලද අධ්‍යයනයකදී සොයාගෙන ඇත්තේ මුහුණු පොත් භාවිත කරන්නන්ගෙන් සියයට 61.5ක් ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ පැමිණිලි කර ඇති බවයි.

මේ අධ්‍යයනයෙන් සොයාගෙන ඇති ආකාරයට ව්‍යාජ පුවත් වේගයෙන් පැතිරීමට හේතුව මාධ්‍ය පිළිබඳ අවබෝධය හීන වීමය. උදාහරණයක් ලෙස සාපේක්ෂව උගත් මහජනතාවට පවා මාධ්‍යයක පළවන දේ පිළිබඳ විචාරාත්මකව විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව ගත හැකිය.

 

මාධ්‍යවේදින්ගේ අභියෝගය

මාධ්‍යවේදීහු ව්‍යාජ ප්‍රවෘත්ති සමඟ ගනුදෙනු කිරීමේදී දැඩි අභියෝගයකට මුහුණ දෙති. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කේ. එම්. රසූල් මෙයට හේතුවක් ලෙස දක්වන්නේ ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය කරනු ලබන්නේ ඉතා සූක්ෂ්ම ආකාරයට වීම නිසා එවැනි පුවත්වල තථ්‍යභාවය (සත්‍යතාව) තහවුරු කරගැනීම අපහසු වීමයි.

 

කේ. එම්. රසූල් පසුගිය වසර ගණනාවක් පුරා දේශීය හා අන්තර්ජාතික වශයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ පර්යේෂණයේ යෙදෙමින් වාර්තා කරමින් සිටින්නෙකි. මාධ්‍ය ජීවිතය තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සමඟ ගැටීමට අදාළ  ඔහුගේ අත්දැකීම් පිළිබඳ දක්වමින් ඔහු පවසන්නේ “ව්‍යාජ ප්‍රවෘත්ති මේ වනවිට බොරු කීමෙන් වෙන්කර හඳුනාගත නොහැකියි. මේ පණිවිඩ සංවේදී ලෙස වාර්තා කරමින් කියවන්නන්ගේ ආකර්ෂණය දිනා ගන්නා නිසා ඔවුන්ගේ ඊළඟ ක්ෂණික පියවර වන්නේ ඒවා බෙදා ගැනීමයි.

ඇතැම් විදේශයන්හි මෙන් ශ්‍රී ලංකාව තුළ මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හැසිරවීමේ ප්‍රවීණයන් නැහැ. ඒවා ඉතා සියුම් ආකාරයෙන් පළ කරන නිසා මාධ්‍යවේදීන්ට පවා මුහුණු පොතේ බෙදා හැරෙන ඒ පණිවිඩවල සත්‍ය අසත්‍යබව හඳුනා ගැනීම අභියෝගයක් වෙලා. මහජනතාවගේ ඊළඟ ප්‍රතිචාරය ඒවා විශ්වාස කර කිසිදු තහවුරු කිරීමකින් තොරව තමන්ගේ මතය බෙදාහදා ගැනීමයි.

ව්‍යාජ ප්‍රවෘත්ති හඳුනා ගැනීමට හා ඒ පිළිබඳ වාර්තා කිරීමේ යෙදුණු ආයතන කීපයක් තිබුණත් ඒ කටයුතු කෙරෙන්නේ ඉතා අඩු වේගයකින්. ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳ මාධ්‍යවේදීන්ගේ දැනුම ප්‍රමාණවත් නොවුණොත් තත්ත්වය ඉතා දරුණු වෙන්න පුළුවන්. මෑතක කළ අධ්‍යයන්ට අනුව වැඩි වැඩියෙන් ව්‍යාජ ප්‍රවෘත්ති පැන නැඟුණේ දේශපාලනික ස්වභාවයෙන්. ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ නිරන්තර දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වූවත් ඒ උගත් පාඩම් පිළිපැදීමක් සහ ක්‍රියාත්මක වීමක් නැහැ.” යනුවෙනි.

 

ව්‍යාජ ප්‍රවෘත්ති සංස්කෘතියක් බවට පත්වීම

ඇතැම් ව්‍යාජ ප්‍රවෘත්ති ජනතාවගේ මනසට කිඳා බැස ඒවා කාලයත් සමඟ සංස්කෘතිකමය සත්‍යයන් බවට පත් වේ. උදාහරණයක් ලෙස ඒඩ්ස් යනු සුව කළ නොහැකි රෝගයක් ලෙස සමාජයේ පිළිගැනීමක් ඇත. එහෙත් වෛද්‍යවරුන්ගේ මතය නම් එය සේම සියලුම රෝග සුව කිරීමේ හැකියාව ඇති බවයි.

මේ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් ග්‍රාස්රූට්ස් භාරයේ අධ්‍යක්ෂ, හාන්ස් බිලිමෝරියා පවසන්නේ, “ශ්‍රී ලංකාවේ  පාසල් හෝ වෙනත් අධ්‍යාපනික ව්‍යාපෘති මඟින් ලිංගිකත්වයට අදාළ මූලික දැනුම ලබාදීම අඩුවීම මෙවැනි විශ්වාසයන් ඇති වීමට මූලික හේතුවයි. එසේම ලිංගිකත්වයට අදාළ ව්‍යාජ ප්‍රවෘත්තිවලින් වැලකීම සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට හේතුව ව්‍යාජ ප්‍රවෘත්ති පමණක් නොවේ, නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම පමණයි දිගු කාලීනව වටිනාකමකින් යුතුව පවතිනු ඇත්තේ” යනුවෙනි.

 

තවද ජනප්‍රිය සිනමා නළු නිළියන්ගේ නිරුවත් පින්තූර සහ වීඩියෝ දර්ශන කාලයෙන් කාලයට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන අතර ඒවා සත්‍ය ලෙස පිළිගැනීමේ ප්‍රවණතාවක් ජනයා අතර පවතී. ශ්‍රී ලංකාවේ මෙය දේශපාලනඥයන් අරභයාද සිදුව තිබේ.

මෑතකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇගේ දුරකථන ඇමතුමක් වංචාකාරී ලෙස පටිගත කොට විකෘති කළ බවටත් එය ප්‍රචාරය කරනු ලැබූ යූටියුබ් නාළිකා 20ට එරෙහිව නෛතික පියවර ගන්නා බවටත් කනගාටුව පළ කරමින් අනතුරු ඇඟවූවාය. ඇය දිවුරා පොරොන්දු වූයේ ඇයගේ පෞද්ගලික මෙන්ම පවුලේ කටයුතු පිළිබඳ ව්‍යාජ ප්‍රවෘත්ති පළකරන්නන්ට එරෙහිව නෛතික පාඩමක් උගන්වන බවටය.

 

සංඛ්‍යාංක (ඩිජිටල්) පුවත්පත් නමින් එන ව්‍යාජ ප්‍රවෘත්ති

කොරෝනා වයිරසය හේතුවෙන් රට වසා දැමුණු සමය පුරා පුවත්පත් මුද්‍රණයෙන් නිකුත් නොවුණු අතර ඒවා සංඛ්‍යාංක හෙවත් ඩිජිටල් පුවත්පත් ලෙස පළ විණි. නොමිලේ විද්‍යුත් සඟරා (ඊ-පුවත්පත්) අන්තර්ජාලය ඔස්සේ පළ වීම නිසා ඒවා පහසුවෙන් ඒ නම්වලින්ම ව්‍යාජ ප්‍රවෘත්ති පත්‍ර බවට පත් කළ හැකි විය.

මෙට්‍රො නිවුස්, විඩිවේලි, වීරකේසරී සහ තිනකුරල් නම්වලින් ව්‍යාජ පුවත් පළ කෙරුණේ ඒ පුවත්පත්වල කර්තෘමණ්ඩලද  අපහසුවට පත් කරමිනි. මෙය පාඨකයන් ව්‍යාකූල කරන තත්ත්වයක් නිර්මාණය කළේය. එය ව්‍යාජ ප්‍රවෘත්ති බවට ප්‍රකාශ කරමින් එම පුවත්පත්වල වෙබ් අඩවි ඔස්සේ දැන්වීමක් පළ කිරීම ක්ෂණික අවශ්‍යතාවක් විය.

 

මේ වසරේ මැයි මස මැද භාගය මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති පුළුල් ලෙස සංසරණය වූ කාලයක් විය. විවිධ දෙමළ භාෂිත පුවත්පත්වල ලාංඡන භාවිත කොට ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය සහ බෙදාහැරීම සිදු කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳ ගුණවර්ණනා සමඟිනි. මෙය දේශපාලනයඥයන්ට පමණක් නොව පුවත්පත්වලට මෙන්ම ව්‍යාකූල වූ පාඨකයන්ටද බරපතළ අභියෝගයක් මැවීය. පුවත්පත් මඟින් පළ කළ ප්‍රකාශයකට අනුව මෙය පුවත්පත්වලට පැවැති පිළිගැනීම විනාශ කරළීය. එක් පුවත්පතක සංඛ්‍යාංක (ඩිජිටල්) අංශයේ කළමනාකරුවකු ප්‍රකාශ කළේ එම පුවත්පතේ නම යොදාගනිමින් ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හළ අයට එරෙහිව ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් කළ බවටයි.

 

ව්‍යාජ ප්‍රවෘත්තිවල බලපෑම

“ව්‍යාජ ප්‍රවෘත්ති අප මුහුණ දෙන විශාල අභියෝගයක්, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අඩවිවල. බොහෝ අවස්ථාවන් තිබෙනවා මේවා සත්‍ය බවට ජනතාව විශ්වාස කරන්නට පෙලඹෙන, මොකද ඒ ලියවිලි බෙදා හැර ඇත්තේ කිසිදු සත්‍යාසත්‍යතාවක් තහවුරු නොකරමින්. ඊට අමතරව, ඕනෑ තරම් අවස්ථා තිබෙනවා මේ පුවත් නිසා එක් පාර්ශ්වයක් බලපෑමට ලක්වන” යනුවෙන් පවසන්නේ ස්වාධීන මාධ්‍යවේදිනියක වන කාලවර්ෂ්ණි කනකරත්නම්ය.

 

ඇය වැඩිදුරටත් පවසන්නේ, “අද වන විට තොරතුරු, ඡායාරූප, වීඩියේ දර්ශනවල විශ්වසනීයත්වය තහවුරු කරගැනීමට ක්‍රමවේද තිබෙනවා. කාරණය එළිදැක්වුණ ගමන්ම සාමාන්‍ය ජනතාව එය සොයා බලන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම ප්‍රකාශකයා එය පළ කරන්නට පෙර හොඳින් සත්‍යාසත්‍යතාව තහවුරු කරගත යුතුයි. මගේ නිරීක්ෂණයේ හැටියට නම් මාධ්‍යවේදීන් මෙයින් ඇති විය හැකි ප්‍රතිඵල කෙතරම් බරපතළද යන්න මතු කරමින් ඒ  පිළිබඳව නිරන්තර මතකයේ තබාගෙන මේ පුරුදු  අනුගමනය කළොත් යම් තරමකට ව්‍යාජ ප්‍රවෘත්ති පාලනය කරන්න පුළුවන්. අප සැමවිටම චූදිතයාගෙන් මෙන්ම හිමිකම් පාන්නාගෙන් ප්‍රශ්න කළ යුත්තේ නිවැරැදි තොරතුරු මහජනතාවට සැපයීම තහවුරු කිරීමට බව මතක තබා ගැනීම වැදගත්.”

 

ඔබට ව්‍යාජ ප්‍රවෘත්තියක් ලැබුණහොත් කළ යුත්තේ කුමක්ද?

එවැනි ව්‍යාජ ප්‍රවෘත්තියක් බෙදාහැරෙන විට ජනතාව ඒ පිළිබඳ අවබෝධ කරගැනීම අවශ්‍ය වන අතර එහි අව්‍යාජභාවය සොයා ගත යුතුය. විඩිවේලි පුවත්පතේ ප්‍රධාන කර්තෘ එම්. බී. එම්. ෆයිරූස්  ඔහුගේ පුවත්පතේ නමින් ව්‍යාජ ප්‍රවෘත්ති පළ වීම සම්බන්ධව පහත අවවාද ඔහුගේ ලිපියකින් සපයයි:

  1. ඔබට ලැබෙන සියලු තොරතුරු බෙදා නොහරින්න. අන් අයට අවශ්‍ය වන තොරතුරු පමණක් තෝරාබේරා බෙදාහරින්න. බෙදාහරින්නට පෙර සිතන්න.

2.ලැබී ඇති තොරතුර පළ කළේ නීත්‍යානුකූල ප්‍රභවයකින් ද යන වග නිරීක්ෂණය කරන්න.

  1. පුවත්පතක් / සඟරාවක් නමින් පුවතක් බෙදා හැරෙන විට එම සඟරාවේ ලාංඡනය දෙස, ප්‍රකාශිත දිනය, සහ යොදාගෙන ඇති අකුරු වර්ගය පිළිබඳ විමසිලිමත් වන්න. සැකයක් තිබේ නම් පුවත්පත් කාර්යාලය අමතන්න.
  2. රටේ පිළිගත් ගුවන්විදුලි, රූපවාහිනී සහ අන්තර්ජාල ප්‍රවෘත්තිවලට ඇහුම්කන් දෙන්න.
  3. ඔබට තොරතුරු තහවුරු කරගැනීමට නොහැකි නම්, ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඒ තොරතුරු පළ වී ඇත්දැයි සොයා බලන්න. එසේ නොමැති නම්, ඔබ දන්නා හඳුනන නිලධාරීන්ගේ හෝ මාධ්‍යවේදීන්ගේ සහාය ලබාගන්න.
  4. ව්‍යාජ ප්‍රවෘත්ති නිර්මාණය සහ බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඔබේ සියලු සමාජ මාධ්‍ය දැන්වීම් සටහන් (පෝස්ටු) නිරීක්ෂණය වන බව මතකතබා ගන්න.

7.කරුණාකර ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවන්නකු බවට පත් නොවන්න.

 

Leave a Reply