මිය ගිය ඥාතීන් අනුස්මරණය කිරීම අසාධාරණද?

ශ්‍රී ලංකාවේ පැවැති දිගු සිවිල් යුද සමයේ උතුරේ සහ නැඟෙනහිර පුරුද්දක්ව පැවැතියේ මරණයට පත්වූවන්  වෙනුවෙන් නොවැම්බර් 27වැනිදා රතු සහ කහ කොඩි සෑම අනුස්මරණ ස්ථානයකම එසවීමයි. ඒ රජයේ හමුදාවන් සමඟ සටන් කර දිවි පිදූ විමුක්තිකාමී කොටි සැමරීම සඳහාය. කෙසේ වෙතත්, යුද්ධය නිමාවීමෙන් පසු විශේෂයෙන් පවතින රජය යටතේ මේ සැමරුම්වලට දැඩි පීඩනයකින් යුතු එදිරිවාදීත්වයක් දක්වයි.

කිසිම කටයුත්තකදී කොටින්ගේ මළ සිරුරු සතුරන් අතට පත් වීම වැළැක්වීම, ඒවා හමුදා ගෞරව සහිතව භූමදානය කිරීම සහ වන්දනාමාන කරමින් ඔවුන් වෙනුවෙන් යාච්ඥා කිරීම ආරම්භයේ සිට කොටින් අනුගමනය කළ පිළිවෙතකි. එහෙත්, කොටි විමුක්තිකාමීන් විසින් විරුවන්ගේ දිනයේ ඔවුන්ගේ මියගියවුන් අනුස්මරණය උත්කර්ෂවත් ලෙස සිදු කරණු ලැබූ අවසන් අවස්ථාව 2008 වසර විය. 

පසුව යුද හමුදාපති සහ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, 2008 න් පසු විරු දින සැමරුම්  පැවැත්වීමට කොටි සංවිධානයට අවසර නොදෙන බවට ඔහු නිවේදනය කළ බවයි. ඒ ආකාරයෙන් යුද්ධයෙන් පසු එවැනි සැමරුම් පැවැත්වීම අසීරු බවට පත් විය.

විශේෂයෙන් උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්කවල මේ වැඩසටහන තහනම් කරමින් අධිකරණ තීන්දු දක්නට ලැබිණි. රජය නිවේදනය කළේ කොටි සංවිධානය අන්තවාදී සංවිධානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින් මියගිය කොටි සෙබළුන්ගේ සැමරුම් පැවැත්විය නොහැකි බවයි. එසේ වෙතත් දෙමළ ජනතාව පවසන්නේ මියගිය ඥාතීන් සැමරීමට තමන්ට අයිතියක් ඇති බවය.

කොරෝනා මාර්ගෝපදේශ දක්වමින් යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මිය ගිය අය සැමරීම තහනම් කර ඇති අතර ඒ අණ උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවය. 

අපි කිසි විටෙක ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් කොටි විමුක්තිකාමීන්ගේ විරු දිනය සැමරීමට අවසර දෙන්නේ නැහැ. දෙමළ ජනතාවට මෙහි ඇති ඒ තහංචි උල්ලංඝනය කරමින් සැමරුම් පැවැත්වීමට බැහැ. ඔවුන්ට අවශ්‍ය නම් පිටරටකට ගොස් නිදහසේ සැමරුම් සංවිධානය කරගත හැකියි. ඔවුන්ට එහි කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.

දෙමළ ජනයාට යුද්ධයේදී මියගිය ඔවුන්ගේ ඥාතීන් සිහි කිරීමට අයිතියක් තිබෙනවා. එය ඔවුන්ගේම අයිතියක්. ජනාධිපතිට හෝ රජයට හෝ වෙන කිසිවෙකුට එය නතර කරන්න බැහැ. යැයි පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ සභාපති ආර්. සම්බන්ධන්ය.

ශ්‍රී ලංකාව තුළ ජාතීන් තුනටම අයත් ජනතාවට යුද්ධයේදී මියගිය ඔවුන්ගේ ඥාතීන් අනුස්මරණය කිරීමේ අයිතිය තිබෙනවා. ඔවුන් සිංහල, දෙමළ සහ මුස්ලිම් කියා වෙනසක් කළ යුතු නැහැ. එනිසා අනුස්මරණය කිරීමේ අයතිය කිසිවකුට තහනම් කරන්න බැහැ යනුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පැවසීය.

කෙසේ හෝ දෙමළ නායකයන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නිලධාරීන් විසින් අනුස්මරණ සංවිධායකයන්ට තර්ජනය කිරීම පිළිබඳ  ඔවුන් එකඟ නොවන බවයි.

ඔවුන් සඳහන් කරන්නේ අනුස්මරණ නැවැත්වීම සඳහා කොරෝනා සම්බාධක අවභාවිත කරමින් ගන්නා මේ නව උත්සාහය ජාතිවාදයේ සහ යටපත් කිරීමේ ඊළඟ පියවර බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් ඇතුළු පිරිස කොටින්ගේ සොහොන් කොත් පිරිසිදු කිරීමට ගත් උත්සාහය පොලීසිය විසින් නතර කරන ලදී. ඊට අමතරව උතුරේ සහ නැඟෙනහිර කොටි සැමරුම් ස්ථාන අසල ආරක්ෂක බලකායන් මඟින් මුරපොළවල් පිහිටුවන ලදී.

පළාත් අධිකරණ මඟින් පොදු සැමරුම් වැඩසටහන් තහනම් කරනවාට අමරතරව බොහෝ පුද්ගලයන්ට, දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවලට මෙවැනි කටයුතු සඳහා සහභාගීවීම සහ සංවිධානය කිරීම තහනම් කර තිබේ. 

කොරෝනා සම්බාධක මේ තහනම් නියෝග සාධාරණීකරණය කිරීමට යොදාගෙන ඇති අතර මේ උත්සවවලදී රතු සහ කහ කොඩි භාවිත කළ අය ඉලක්ක කෙරුණු අතර ප්‍රශ්න කිරීම්වලට හේතු විය.

තවදුරටත්, පසුගිය නොවැම්බර් 29 වැනිදා හින්දු භක්තිකයන්ගේ පහන් දල්වන කර්තිගායි උලෙළ යෙදී තිබිණි. පොලීසිය විශ්වවිද්‍යාල සිසුවකු අත්අඩංගුවට ගත්තේ පහන් දල්වා යාච්ඥා කිරීම නිසාය. ඔවුහු චුන්නක්කම් ප්‍රදේශයේ බොහෝ ස්ථානවල මේ ආගමික කටයුත්ත ද වළක්වා ලූහ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ආගමික සම්ප්‍රදායක් වූ කර්තිගායි උලෙළ පිළිබඳ දැනුමක් නැති පොලීසිය මෙය කොටි සෙබළුන් සැමරීමක් වශයෙන් වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බවයි. ඔවුන්ගේ ක්‍රියාව නොදැනුම්වත්කම නිසා සිදු වූවක් වන අතර අදාළ ඇමතිවරයාට ඉල්ලීමක් කළේ උතුරු සහ නැඟෙනහිර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් දෙමළ සහ හින්දු උත්සව පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලෙසයි.

බාධාවකින් තොරව අනුස්මරණය කිරීම සහ යුද්ධයේදී ඝාතනය කෙරුණු අය වෙනුවෙන් යාච්ඥා කිරීම සහ වැඳුම් පිදුම් කිරීම මානසික පීඩනයට සහනයකි. මෙය 2009 යුද්ධය අවසන් වීමෙන් අනතුරුව දෙමළ ජනයාගේ මූලික ඉල්ලීමක් ද විය. එහෙත් රජය මේ ඉල්ලීම සම්බන්ධව කිසිදු අවධානයක් යොමු නොකරන අතර ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධවූවන් ත්‍රස්තවාදීන්ය යන පදනම මත මේ ඉල්ලීමට ඉඩ දීම රජය ප්‍රතික්ෂේප කරයි.

දෙමළ ජනයාට දැනෙන්නේ මිය ගිය ඥාතීන් සැමරීම තහනම් කිරීම දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝනය කරන වාර්ගික හෙළාදැකීමක් ලෙසය.

යුද්ධයකදී මිය ගිය ජනතාව සිහිපත් කිරීම අන්තර්ජාතික වශයෙන් පිළිගත් සම්ප්‍රදායකි. ලොව පුරා සැමරුම් ස්ථාන ඕනෑතරම් දැකිය හැකිය. වසරකට වරක් තම ඥාතීන් සිහිපත් කිරීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම බලපෑමට ලක් වූ ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමක් වනු ඇත.        

Leave a Reply