මුහුදු මහා විහාරය

පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අම්පාර දිස්ත්‍රික්කයේ, පොතුවිල් ප්‍රදේශයේ පිහිටා ඇති මුහුදු මහා විහාර භූමිය අවට ජීවත් වන මුස්ලිම් ජනතාව, එම භූමි ප්‍රදේශය අනවසරයෙන් අල්ලාගෙන සිටින බවට මාධ්‍ය මඟින් එල්ල කරනු ලැබූ චෝදනාව සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ අවධානය යොමුව තිබේ.

“මම ඉපදී ඇති-දැඩි වුණේ මේ ප්‍රදේශයේ. මට දැන් අවුරුදු 73යි. අපි මේ පදිංචිවෙලා ඉන්න භූමිය ලබාදුන්නේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ ‘ජයභූමි’ ඉඩම් ඔප්පු විදිහට. එසේම, මම දන්නවා අපි පුරාවිද්‍යාත්මක නටඹුන් තියෙන භූමිය ආරක්ෂා කළා මිසක් කවදාවත් අනවසරයෙන් අල්ලාගන්න ගියෙ නෑ” යනුවෙන් මෙම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අබ්දුල් අසනර් ලෙබ්බේ පැවසී ය.

මාධ්‍ය අවධානය              

අප්‍රේල් මාසය තුළ පමණක්, මෙම මුහුදු මහා විහාරයට අදාළ ගැටලුව සම්බන්ධයෙන් පුවත් හා ලිපි 20කට වැඩි ප්‍රමාණයක් සිංහල පුවත්පත්වල පළ වී තිබුණි. මෙම කාලය තුළ දී ම, මෙවැනි සාවද්‍ය තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති වාර්තා බොහෝ වාරයක් සිංහල රූපවාහිනී නාළිකා ඔස්සේ ප්‍රචාරණය විය. ඒවායින් බොහොමයක පෙන්වා දී තිබුණේ, මෙම ප්‍රදේශය මුස්ලිම් ප්‍රජාව විසින් ඔවුන් සන්තක කරගෙන නීතිවිරෝධීව පදිංචි වී සිටින බව යි. පසුගිය වසරේ, ප්‍රසිද්ධ ගායක ඉරාජ් වීරරත්න මෙම ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝව මඟින්, සහ මෙම ප්‍රදේශය පිළිබඳ විවිධාකාරයේ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීම ආදී හේතු පදනම් කරගෙන මුහුදු මහා විහාර ගැටලුව පිළිබඳ මහජන රාවයක් ඇතිවීමට සහ ජාතිවාදී පීඩනයක් මෙම ප්‍රදේශය තුළ ඉස්මතුවීමට හේතුවි ය. මෙම පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාවගේ දැඩි අවධානය යොමු වූ අතර, මෙම සියලු කරුණු අසත්‍ය බවත්, මෙම කතාවේ එක් පැත්තක් පිළිබඳව පමණක් වාර්තාකර ඇති බවත් ඔවුන් පැවසී ය.

මතභේදයට තුඩුදුන් ගැටලුවේ පසුබිම

1951 දී, මන්මලෛ ප්‍රදේශය තුළ පුරාවිද්‍යාත්මක සාධක සොයාගැනීමත් සමඟ, ශ්‍රී ලංකා පුරාවිද්‍යා     දෙපාර්තමේන්තුව මඟින් මෙම ප්‍රදේශය පුරාවිද්‍යා කලාපයක් වශයෙන් ප්‍රකාශයට පත්කර, ඉඩම් මැනීමේ සැළැස්මක් නොමැතිව අක්කර 72ක භූමි ප්‍රමාණයක් ගැසට් කරන ලදී.

14 වසරකට පසුව, 1965 දී අක්කර 40ක භූමි ප්‍රමාණයක් මහජනතාවට ලබාදුන් අතර, අක්කර 30, රූඩ් 3, පර්චස් 2ක භූමි ප්‍රමාණයක් පමණක් භූමිය මැනීමේ සැළැස්මකට අනුව මෙම ප්‍රදේශයේ මායිම් ලකුණු කර ගැසට් නිවේදනයක් හරහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පවරාගන්නා ලදී.

මෑතක දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නැගෙනහිර පළාත සඳහා පුරාවිද්‍යා කාර්ය සාධන බලකායක් පිහිටවනු ලැබූ අතර, එම නියෝජිත මණ්ඩලයේ නායකත්වය දරණ ආරක්ෂක ලේකම් මෙම තත්ත්වය පිළිබඳව සොයාබැලීමට පොතුවිල් හි පිහිටි මුහුදු මහා විහාරයේ සංචාරයක නිරත විය. ඒ අනුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පසුගිය ජුනි මාසයේ දී ඉඩම මැන, අක්කර 30, රූඩ් 3 සහ පර්චස් 2ක භූමි ප්‍රමාණයක සීමා මායිම් නීර්ණය කරන ලදී. කෙසේවෙතත්, ප්‍රදේශයේ විහාරාධිපති හිමි මැදිහත්වෙමින් අක්කර 72ක භූමි ප්‍රමාණය තුළ මායිම් ගල් පිහිටුවන ලෙස බලකර ඉල්ලා සිටින ලදී. අක්කර 72ක මායිම් සලකුණු කිරීම සිදුකළහොත්, ඔවුන්ගේ උරුම ඉඩම්වල භුක්තිය පැහැර ගැනීමේ උත්සාහයක් හෝ කලහයන් ඇති වේ යැයි බියක් මෙම ප්‍රදේශයේ ජනතාව තුළ පවතී.

ඉඩම් සඳහා ඔප්පු පැවතීම

ප්‍රාදේශීය සභා සභාපති එම්.එස්. වාසිත් ට අනුව, “ මෙම අක්කර 72ක භූමි ප්‍රමාණය තුළ, මුස්ලිම් පවුල් 300කට ආසන්න ප්‍රමාණයක් පදිංචි වී සිටිනවා. මෙම පවුල් 300 ජීවත්වන ඉඩම්, ඔවුන්ට නීත්‍යානුකූලව අයත් වූ ඒවා. ඔවුන්ට මේ සඳහා ඉඩම් ඔප්පු තිබෙනවා. නමුත්, අක්කර 72ක භූමි ප්‍රමාණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගතහොත්, වසර සිය ගණනක් තිස්සේ ජීවත්වන මෙම පවුල් 300ට තම වාසස්ථාන අහිමිවෙන්න පුළුවන්. ඔවුන් තුළ පවතින මෙම බිය නිසා ජනතාව ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා” යැයි ඔහු පැවසී ය.

මාධ්‍යයේ වැරදි සහගත නියෝජනය

මෙම පසුබිම තුළ, මුස්ලිම් ජනතාව අනවසරයෙන් මෙම භූමිය අල්ලාගෙන සිටින බවට පවතින කටකතා හේතුවෙන්, මහජනතාව මහත් අසතුටට පත්ව ඇත.

නීතීඥ සහ වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී මුෂාරෆ් මුදුනබීන්, පොතුවිල් හි මෑතක පැවැත් වූ උද්ඝෝෂණයේ දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසාසිටියේ, “පොදු වශයෙන් මෙම මුහුදු මහා විහාරය සම්බන්ධ ගැටලුව වෙත අවධානය යොමුකළ හොත්, එය පැහැදිලිවම ජාතිවාදය අවුස්සාලීමක්. එසේම, මාධ්‍ය ද මෙම ගැටලුව වඩාත් ඉස්මතු කරලීමට සහයෝගය දක්වනවා. මෙම ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව, මෙම පුරාවිද්‍යා භූමිය දීර්ඝ කාලයක් තිස්සේ ආරක්ෂා කළ හා නඩත්තු කළ පිරිසක් වශයෙන් කරුණු දැක්වීමට මාධ්‍ය අසමත් වී තිබෙනවා. තවදුරටත්, අයුක්ති සහගත අන්දමින් මුස්ලිම් ජනතාව ඉඩම් පැහැරගන්නන් වශයෙන් අර්ථ විග්‍රහ කිරීමේ උත්සාහයක් පවතිනවා. අද වනවිට පුරාවිද්‍යා භූමියේ ආරක්ෂකයා වශයෙන් ක්‍රියාකරනුයේ මුස්ලිම් පුද්ගලයෙක්. දේශපාලකයන්, නිලධාරීන් සහ සාමාන්‍ය මහජනතාව මෙම භූමියේ බෞද්ධ පන්සලක් පවා ගොඩනගන්න සම්පූර්ණ අනුමැතිය ලබාදෙනවා. මේක තමයි ගැටලුවක් බවට පත් වූ සිද්ධිය, යහපත් විශ්වාසයකින් සිදුකළ අපගේ ක්‍රියාවන් අමතක කරදැමීම යුක්ති සහගත ද, ඒ වගේම ජාතිවාදීන් හා මූලධර්මවාදීන් වශයෙන් අද අපව අර්ථ විග්‍රහ කරන්නේ කොහොම ද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේ ය.

ඉඩම් අයිතීන් සඳහා වන මහජන සංගමය පවසා සිටින්නේ, මාධ්‍ය විසින් තහවුරු කරගත් කරුණු පමණක් ප්‍රකාශයට පත්කළ යුතු අතර ‘අනවසරයෙන් ඉඩම් අල්ලාගන්නන්, මහජන දේපළ විනාශ කරන්නන් සහ අන්තවාදීන්’ වැනි ජනතාව කුපිත කරන ආකාරයේ වචන භාවිතයෙන් වැළකී සිටිය යුතු බව යි. මාධ්‍ය ආචාරධර්මයන් ට ගරුකරමින්, වඩාත් වගකීම් සහගත අන්දමින් කරුණු ඉදිරිපත් කිරීම කළ යුතු යි. මහජන සංගමය තවදුරටත් කරුණු ඉස්මතු කර දක්වන්නේ, දැනටමත් බෙදී තිබෙන පසුබිමක් තුළ මාධ්‍ය විසින් තවදුරටත් බෙදීම් ඇතිවන ආකාරයේ පෙළඹවීම් සහ අගතීන් ඉස්මතුවන කාරණා ඉදිරිපත් නොකළ යුතු බව යි.

මුස්ලිම් ජනතාවගේ විරුද්ධත්වයක් තිබී නෑ

මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යට අදහස් දැක්වීමේ දී, මුහුදු මහා විහාරයේ විහාරාධිපති, වරකාපොළ ඉන්ද්‍රතිස්ස හිමි සඳහන් කළේ, “විවිධ නායකයන්, මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් සත්‍ය නොවන නානාප්‍රකාර අදහස්-උදහස් දක්වා තිබෙනවා. ලංකාවේ මේ කියන පුරාවිද්‍යා භූමි, අතීතයේ විහාර පැවතුන තැන්. වසර 2300ක ඉතිහාසයක් පවතින පරණ පන්සලක් මෙතැන තියෙනවා. එමනිසා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වැඩි අයිතියක් මෙම පන්සල සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාට පවතිනවා. ඒ නිසා, සිද්ධිය සම්බන්ධයෙන් ජාතිවාදී හෝ ආගමික ප්‍රශ්න ඇතිකිරීමට හේතුවන කිසිවකු මේ සඳහා අවශ්‍යවන්නේ නෑ. පුරාවිද්‍යා නටබුන් බොහොමයක් මෙම භූමියේ සැඟවී තිබෙනවා. මෙහි වෙසෙන මුස්ලිම් ජාතිකයන්ට පහරදීමට හෝ පිටමං කරදැමීමට අපගේ කිසිම අදහසක් නෑ. අපේ මෙහෙවර වන්නේ, පුරාවිද්‍යාත්මක නටබුන් ආරක්ෂා කිරීම. ඒක අක්කර 72ක් හෝ ඊට වැඩිවුණත්. ප්‍රධානම පරමාර්ථය වන්නේ, මෙම පුරාවිද්‍යා නටබුන් සංරක්ෂණය කිරීම. මට පේනවිදිහට, මේ ඡන්ද කාලය නිසා, මුස්ලිම් දේශපාලකයන් මෙම ගැටලුව ඔස්සේ පක්ෂපාතී මනාපයක් ලබාගැනීමේ උත්සාහයක නිරතවෙනවා. මුස්ලිම් ජාතිකයන්, ඉතිහාසය පුරාවටම මෙම දේවාලය ආරක්ෂා කරලා තියෙනවා. එමනිසා, මුස්ලිම් ජනතාව භීතියට පත්වීමට කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. මෙම පුරාවිද්‍ය කැණිම් අතරතුර මුස්ලිම් ජනතාවට කිසියම් අසාධාරණයක් සිදුවුවහොත්, මම ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා. ”

මෙම ගැටලුව මේවනවිට උසාවිය දක්වා ගෙනගොස් ඇත. මහ මැතිවරණ තත්ත්වය හේතුවෙන් මුහුදු මහා විහාරයේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධ ගැටලුව සඳහා අතුරු තහනම් නියෝගයක් උසාවිය මඟින් පනවා තිබේ. උසාවිය තුළ විසඳීමට පවතින ගැටලුවක, එහි ගැඹුරු බව හා පෘථුල බව නොදැන, කතාවේ එක් පැත්තක් පිළිබඳව පමණක් වාර්තාකිරීම ඔස්සේ දීර්ඝ කාලයක් තිස්සේ මෙම ප්‍රදේශය තුළ සහජීවනයෙන් ජීවත් වූ ප්‍රජාවන් දෙකක් අතර භේදයක් ඇතිවීමට මගපෑදිය හැකි යි. මාධ්‍යට මේ සඳහා බලපෑමක් කළ හැකි ද?

 

 

Leave a Reply