මූලාශ‍්‍ර ජාලයක් ගොඩ නඟා ගැනීම

 

මාධ්‍යවේදියකු ලෙස ඔබේ රාජකාරිය වඩාත් සාර්ථකව ඉටු කර ගැනීම සඳහා උපකාර කර ගත හැකි ආකාරයේ පිරිසක් ඇතුළත් වන අයුරින් මූලාශ‍්‍ර (Sources) ජාලයක් ගොඩ නඟා ගැනීම පිණිස ඔබට කටයුතු කළ හැකි ය. මෙම කටයුත්තේ දී ඔබේ බීට්ටුවට (Beat) අදාළ ව ක‍්‍රියාත්මක වන රාජ්‍ය ආයතන, සංවිධාන හෝ පුද්ගලයන් පිළිබඳ ලේඛනයක් සකසා ගැනීම එහි මූලික පියවර ලෙස දැක්විය හැකි ය.

මේ සමඟම පහත දැක්වෙන ඉඟි පිළිබඳ ද සැලකිලිමත් වීම වැදගත් ය.

* වාර්තා සහ අනෙකුත් පසුබිම් තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්න.

* අදාළ හා වැදගත් යයි සිතෙන මාධ්‍ය සාකච්ඡා සඳහා හැකි සෑම විටෙක ම සහභාගි වන්න.

* එම අවස්ථාවල දී මුණ ගැසෙන හා හඳුනා ගන්නා සම්පත් දායකයන් සමඟ සබඳතා ගොඩ නඟා ගන්න. ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගන්නවාට අමතර ව ඔබ පිළිබඳ තොරතුරු ද ඔවුන් වෙත ලබා දෙන්න. උදා: ඔබේ නම, දුරකතන අංකය, ඊ මේල් ලිපිනය හා අනෙකුත් සමාජ ජාල මාධ්‍යයන් තුළ ඔබේ අනන්‍යතාව තහවුරු කෙරෙන තොරතුරු ආදිය.

නොවැළැක්විය හැකි හේතුවක් මත මිස පෙර මුණනො ගැසුණු කෙනකුට එක්වරම දුරකතනයෙන් ඇමතීමට නොයන්න. අදාළ පුද්ගලයන් මුහුණට මුහුණ මුණ ගැසී තම අනන්‍යතාව තහවුරු කර ලිය හැකි නම් එමඟින් ගොඩ නැඟෙන සබඳතාව හා තහවුරු කෙරෙන විශ්වාසවන්ත බව, විපුල පල ලබා ගත හැකි අනාගත මං විවර කරනු ඇත.

ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර සමඟ ඇසුර-

* තමන් හඳුන්වා දී ඔබ සම්බන්ධ කර ගත හැකි ආකාරය සහ ඔබ ගේ රාජකාරිය පිළිබඳ ඔවුන් දැනුම්වත් කරන්න.

* අදාළ ක්ෂේත්‍රයට සම්බන්ධ, නිතිපතා පැවැත්වෙන මාධ්‍ය හමු හා මාධ්‍ය සාකච්ඡා පිළිබඳ තොරතුරු ලබා ගන්න.

* මේ ආයතන නිකුත් කරන පුවත්පත් නිවේදන හා ප‍්‍රකාශවල පිටපත් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් සකසා ගන්න.

* ආයතනය හා එහි කාර්යභාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් ලබා ගන්න. එය අනාගත කටයුතු සඳහා ප‍්‍රයෝජනවත් වනු ඇත.

* ආයතනයේ සංවිධාන ව්‍යූහය පිළිබඳ දළ අවබෝධයක් ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. සංවිධාන ව්‍යූහය, එහි ධූරාවලිය සැකසී ඇති තත්ත්වය ආදී දේ මේ මඟින් ඔබට පැහැදිලි කර ගත හැකි වනවා ඇත.

* වැදගත් තොරතුරු ලබා ගත හැකි යැයි සැලකෙන  ආයතනයේ සෑම නිලධරයකු ගේ ම දුරකතන අංක, ඊ මේල් ලිපින හා නම් ලබා ගන්න.

* එම ආයතනයට සම්බන්ධ අනෙකුත් ආයතන පිළිබඳ මෙන් ම එම ක්ෂේත‍්‍රය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි පුද්ගලයන් ගැන ද තොරතුරු සොයා ගන්න.

* ආයතනවල ඉහළ මට්ටමේ නිලධරයන් ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් තොරතුරු ලබා ගනු පිණිස ඔවුන් සම්බන්ධ කර ගැනීමට ඇතැම් අවස්ථාවල දුෂ්කර කටයුත්තක් වනු ඇත. එවන් අවස්ථාවල අදාළ තොරතුරු ලබා දීම සඳහා බලයලත් වෙනත් පහළ මට්ටමේ නිලධරයකු නම් කරන ලෙස ඉල්ලා සිටින්න. රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ වෙනත් දෙපාර්තමේන්තුවල පහළ මට්ටමේ නිලධරයන් සතුව ඔබට වුවමනා තොරතුරු තිබීමේ ඉඩකඩ සුලබ ය.

* තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම පිළිබඳ මාධ්‍යවේදියකු වශයෙන් ඔබ ගේ ඇති වෘත්තීයමය කැපවීම පැහැදිලි කරන්න. 

* නිවරැදි කිරීම් පළ කිරීම සම්බන්ධයෙන් ඔබ ගේ මාධ්‍ය ආයතනය අනුගමනය කරන පිළිවෙත මූලාශ්‍රයට වටහා දෙන්න.

* තොරතුරු ලබා ගැනීම පිණිස සිදු කෙරෙන සම්මුඛ සාකච්ඡා සහ අනෙකුත් සංවාද නිල ලෙසින් සිදු කෙරෙන බව පහදන්න. කලින් කතා බහ කර ගතහොත් පමණක් තොරතුරු නිර්නාමික ලෙස ලබා දිය හැකි බව පහදන්න.

මූලාශ‍්‍රය මුණ ගැසීමේ දී හා තොරතුරු ලබා ගැනීම පිණිස සාකච්ඡා කිරීමේ දී සිහියේ තබා ගත යුතු දේ-

* ඉවසීමෙන් යුතුව මූලාශ‍්‍ර සමඟ කටයුතු කිරීමේ වැදගත්කම සිහියේ තබා ගන්න. ගනුදෙනුව ඒ මොහොතට පමණක් සීමා වුවත් මූලාශ‍්‍රය සමඟ පවතින සබඳතාව දිගුකාලීන බව සිතන්න.

* අදාළ සිදුවීම පිළිබඳ තොරතුරු ලබා ගනු පිණිස මූලාශ‍්‍රයේ උදවු ඉල්ලීම හා තමා ඒ පිළිබඳ දන්නේ අල්ප වූ පමණකැ මූලාශ‍්‍රයට ඒත්තු ගැන්වීම ඔබ ගේ වාසියට හේතු වනු ඇත. බහුතර නිලධරයන් මෙන් ම වෙනත් වගකිවයුත්තන් ද තමන් වෙත පැවරී ඇති බලය හා අධිකාරිත්වය පිළිබඳ යම් තරමක අභිමානයකින් පසු වෙයි. ඔවුන් ගේ දායකත්වය ඔබට ඉතා වැදගත් බව ඒත්තු ගැන්වීම ඔවුන් ගෙන් බොහෝ තොරතුරු ලබා ගැනීමට පාර කැපීමකි.

* ඔබට මුණ ගැසෙන අය මතකයේ තබා ගන්න. අමාත්‍යංශ ලේකම්වරුන්, අනෙකුත් නිලධරයන්, ආරක්ෂක භටයන්, රියැදුරන් මෙන් ම කාර්යාල කාර්ය සහායකයන් ද මේ පිරිසට අයත් බව මතක තබා ගන්න. මේ සියල්ලන් ගෙන් ම ඔබේ රාජකාරියට වුවමනා බොහෝ දේ ලබා ගත හැකි වනු ඇත. ඒ නිසා මේ පිරිස සමඟ යහපත් සබඳතාවක් පවත්වා ගෙන යන්න.

* ඔබ මූලාශ‍්‍ර සමඟ ඇති කර ගන්නා සහ පවත්වා ගෙන යන සබඳතා රාජකාරීමය සබඳතා පමණක් බව මතක තබා ගන්න. ඔවුන් ඔබ ගේ මිතුරන් නොවන අතර ඔබ ගේ කටයුතු රාජකාරීමය තත්ත්වයනට පමණක් සීමා කර ගන්න.  ඔබ ආවරණය කරන විෂය ධාරාව, බීට්ටුව (Beat) තුළ මිතුරකු හෝ ඥාතියකු හමුවුවහොත් පරෙස්සම් වන්න.  යම්කිසි මොහොතක ඔබේ වාර්තාකරණය සහ එම තැනැත්තා ගේ අවශ්‍යතා අතර ගැටුමක් හට ගන්නේ නම් ඒ පිළිබඳ අවධානයෙන් පසු වන්න.

තොරතුරු ලබා දීමට ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය අකැමැති නම්-

* ඔබ ගේ රාජකාරියේ කොටසක් වන්නේ ඔබ ගේ මූලාශ‍්‍ර සුරැකීම බව සිහිපත් කර දෙන්න.

* ඔබ මහජනයා ගේ නියෝජිතයකු බව ද ඔබ සේවය කරන්නේ ඔබ ගේ යහපත තකා නොව මහජන යහපත පිණිස බව මූලාශ‍්‍රයට සිහිපත් කර දෙන්න. ඔබ තොරතුරු එක් රැස් කරන පුද්ගලයා පමණක් බව පහදා දෙන්න. 

* රාජ්‍ය සේවකයන් ගේ වැටුප් ගෙවීම පිණිස සෘජු ව හෝ වක‍්‍ර ව හෝ යොදා ගැනෙන්නේ ජනතා බදු මුදල් ය. රාජ්‍ය සේවකයන් අවසානයේ ජනතා සේවකයන් ලෙස ගැනෙන්නේ මේ හේතුව නිසා ය. ඒ නිසා යහපත් වාර්තාකරණයක් උදෙසා දායකත්වය සැපයීම ජනතා සේවකයකු සතු වගකීම බව පහදා දෙන්න. ඔබ මින් පෙර ප‍්‍රකාශයට පත් කළ වාර්තා හා ලිපි ගෙන හැර දැක්වීමෙන් මූලාශ‍්‍රය තුළ ඔබ ගේ රාජකාරිය පිළිබඳ යම් සුබවාදී හැඟීමක් ඇති කළ හැකි වේ. ඉන් ඔබ ගේ වාර්තාකරණයේ වන නිවැරැදි හා සමබර බව වටහා ගැනීමට මේ පිරිසට අවස්ථාව උදා වනු ඇත.

* ඉවසීමෙන් යුතු ව කටයුතු කිරීම යම් අවස්ථාවල දී ප‍්‍රතිඵලයක් ගෙන දෙන්නට අසමත් වුව ද හැකි සෑම මොහොතක ම ඉවසීමෙන් කටයුතු කරන්න. අදාළ මූලාශ‍්‍රය අමාරුකාරයකු බවත්, ඔහු ගේ නම හා අනෙකුත් තොරතුරුත් ඔබ ගේ ප‍්‍රධානයාට දැනුම් දෙන්න.

ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය සමඟ කටයුතු කිරීම-

සාර්ථක වාර්තාකරු තමා ගේ තොරතුරු දායකයන් හා නිතර නිතර ඇසුර පවත්වා ගනී. පිපාසය ඇති වූ විට ඔහු ළිඳට යයි. ඔහු දිය පිපාසය නැති විටක වුව ද ළිඳට යයි. පෞද්ගලික ඇසුර වෙනුවෙන් යොදා ගත හැකි වෙනත් ආදේශයක් නො පවතී. ඔබට යමක් ඔවුන් ගෙන් ලබා ගැනීමට වුවමනා විට ඔබේ තොරතුරු දායකයන් හමු වී කථා කරන්න. කිසි දෙයක් ඔවුන් වෙතින් ලබා ගැනීමට නැති විටත් ඔවුන් හමු වී කථා කිරීම වඩාත් වැදගත් වෙයි.

  1. වාර්තාකරුවන් කෙරෙහි පැවතිය යුතු වැදගත් ගුණාංගයක් නම් අමුත්තන් අතර දී පහසුවෙන් කටයුතු කිරීමේ හැකියාව යි. ඔබට කටයුතු කිරීමට සිදු වන ජනයා සමඟ එකඟතාවෙන් පසුවීමේ පොදු පදනමක පිහිටීමට උත්සාහ ගන්න. සුහද ඇසුර අපහාස කිරීමකට පොහොර නොදමයි. එමඟින් වැට කඩොලූ බාධක අඩු වෙයි.
  2. ‘‘එච්චර නෑ’’ කියනවාට වඩා ‘‘සිදුවන්නේ කුමක් ද?’’ යන ප‍්‍රශ්නයට පිළිතුරු සපයා ගැනීමට වාර්තාකරුවකුට සිදු වේ. තොරතුරු දායකයන් (මූලාශ‍්‍ර) තොරතුරු ලබන අන්තයක (කෙළවරක) පිහිටුවන්න. ‘මහත්මයා’ / ‘මිස්ටර්’ යනුවෙන් ඇමතීමේ යෙදීම වාර්තාකරුවකුට සාර්ථකත්වය ලබා ගැනීමට ඉවහල් නො වේ. වාර්තාකරුවා තොරතුරු බ්‍රෝකර් වරයෙකි. හැකි හැම විට ම තොරතුරු බෙදා හදා ගන්න. 
  3. මෙකී කාරණය පිළිබඳ ඔබ පරෙස්සම් වීම ද අවශ්‍ය වේ. කෙනකු සමඟ සාමාන්‍ය ඇසුරක් පවත්වා ගැනීම හා පමණට වඩා කුලුපග ඇසුරක් පවත්වා ගැනීම අතර පැහැදිලි වෙනස හඳුනාගෙන කටයුතු කිරීමට උගත යුතු ය. 

වෝල්ටර් ලිප්මන් පැවසූ පරිදි ‘‘වාර්තාකරුවා තොරතුරු දායකයා (මූලාශ‍්‍රය) අතර තරමක පරතරයක් පැවතිය යුතු ය. ඒ, බිත්තියක් හෝ වැටක් හැටියට නො වේ. එය වායුවෙන් පිරි පරතරයකි. ඔබේ සේවාව පාඨකයා වෙනුවෙන් මිස තොරතුරු දායකයා (මූලාශ‍්‍රය) වෙනුවෙන් නො වන බව මතක තබා ගන්න.

 මූලාශ‍්‍රය සමඟ පෞද්ගලික සබඳතා පැවැත්වීම කෙසේ සිදු කළ යුතු ද යන්න ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත සිය ආචාර ධර්ම පද්ධතියෙන් මනාව පැහැදිලි කොට දී තිබෙයි.

‘මූලාශ‍්‍රය සමඟ සබඳතාවල දී, සැබැවින් ම පක්‍ෂග‍්‍රාහි වීම හෝ පක්‍ෂග‍්‍රාහි බවක් ප‍්‍රදර්ශනය වීම වළක්වාලනු පිණිස, උපරිම මට්ටමේ මනා විනිශ්චයක් හා ආත්ම විනයක් ද අවශ්‍ය වෙයි. මූලාශ‍්‍රය දැනහඳුනා ගැනීම යනු අත්‍යවශ්‍ය දක්‍ෂතාවකි. එය බොහෝවිට වඩාත් ම සාර්ථක ව සිදු වන්නේ සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පිට වෙනත් වටපිටාවන්හි දී ය. එහෙත් ප‍්‍රවෘත්ති මූලාශ‍්‍රය සමඟ පෞද්ගලික සබඳතා, පසුව පක්‍ෂග‍්‍රාහි වීම දක්වා විකාශය වීමට ඉඩ තිබෙන බවට කාර්ය මණ්ඩල සාමාජිකයන්-විශේෂයෙන් සේවා ස්ථාන පැවරුම් සහිත කාර්ය මණ්ඩල සාමාජිකයන් සංවේදි විය යුතු ය. අනෙක් අතට, මූලාශ‍්‍රය ස්වකීය වූ අපේක්‍ෂා නිසා අපේ හොඳ හිත දිනා ගැනීමට උත්සුක වන බව ද කාර්ය මණ්ඩල සාමාජිකයන් දැන සිටිය යුතු ය. මේ මාතෘකාවට අදාළ ව දැඩි රීති මාලාවක් නැති නමුත්, පක්‍ෂග‍්‍රාහි වීමේ කිසි ම ලක්‍ෂණයකින් තොර වූ වෘත්තීය දුරස්ථභාවයක් අප පවත්වා ගත යුතු ය.’’ යි එහි සඳහන් වෙයි.

අමෙරිකා පුවත්පතක් වන වෝකි ජර්නල් හි කතුවැකි පිටුවේ සංස්කාරකවරයා වන රිකාඩෝ පිමෙන්ටල් පවසන්නේ, ‘මූලාශ‍්‍රය සමඟ මිත‍්‍රශීලි වන්න, එහෙත් මූලාශ‍්‍රයන්හි මිතුරන් වීමෙන් වළකින්න’ යනුවෙනි.

  1. මාස ගණනාවක් තිස්සේ තොරතුරු දායකයන් සමඟ එකදිගට වැඩ කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඔබ ඔවුන් ගේ සිතුම් පැතුම්වලට හුරු වී එසේ සිතන්නට හා ඔවුන් මෙන් ම කථා කරන්නට පටන් ගන්නට ද පුළුවන. ඔබ ඔවුන් ගේ අදහස් උදහස් කෙරෙහි සානුකම්පිත වීමට ද පෙලඹෙනු ඇත. මේ පිළිබඳවත්, ඔබට ඔවුන් ගේ  ඕනෑකම් ඉටු කර ගැනීමට වෑයම් කිරීම පිළිබඳත් පරෙස්සමින් සිටිය යුතු ය. ඔවුන් පිහිටා සිටින මතවාදයන්හි ගුණ පක්‍ෂය හුවා දක්වා ඒවාට නම්මා ගැනීමට ඉඩකඩ මෙන් ම, යුක්ති යුක්තතාවකුත් ඇති වීමට එහි දී පුළුවන. ඔවුන් ගේ වැඩසටහන් ඔස්සේ ඔබ විකුණා ගැනීමට ද ඔවුන් පෙලඹෙනු ඇත. ඔබේ පාඨකයන් සමඟ ඔබට ඇති ඇසුර ඉතා අඩු ය. එහෙත්, ඔබ පෙනී සිටින්නේ ඔවුන් වෙනුවෙනි.
  2. ඔබේ තොරතුරු දායකයා (මූලාශ‍්‍රය) ගේ බස (වැටහීම) ඔබේ පාඨකයා ගේ බස (වැටහීම) නොවනු ඇත.  පාලන බලධාරීන්, විද්‍යාඥයන්, අධ්‍යාපනඥයන් සහ නීතිඥයන් ඔවුන් ගේ වාග් රටා භාවිත කරනු ඇත. ඔවුන් ගේ මේ වාක්‍ය රටා (පාරිභාෂික යෙදුම් හා රටා) හදාරන්න. එහෙත් රචනයේ දී ඒවායේ අන්තර්ගතය ඔබේ පාඨකයනට වැටහෙන බසට හරවන්න.  
  3. වාර්තාවට ඇතුළත් නොකරන අවබෝධය මත (Off the Record) ඔබ තොරතුරු සපයා ගත්තේ නම් එය එසේ ම ය. තොරතුරු දායකයා (මූලාශ‍්‍රය) මුළු ජීවිත කාලයට ම තොරතුරු දායකයා ම වෙයි. ඔබට  ඕනෑ නම්, ඔබේ වාර්තාකරණ අඩවිය (Beat) වෙනස් කර ගැනීමට පුළුවන. 

තොරතුරු දායකයන් සමඟ කටයුතු කිරීමේ දී වාර්තාකරුවකු,

*හැකි නම් තොරතුරු බෙදා -හදා ගැනීමේ යෙදෙයි.

*ඔවුන් ගේ ගැඹුරු වාක්‍ය රටා වැටහෙන බසට පෙරළා ගනියි.

*සුහදශීලි වේ. එහෙත් ඒ අධිෂ්ඨාන සම්පන්නව ය.

*යම් පරතරයක් පවත්වා ගනියි.

වොෂින්ටනයේ ඇතැම් වාර්තාකරුවන් භාවිත කරන නව චින්තන සම්පත් මෙයට උදාහරණයක් වේ.

විශාරද දැනුමැතියන් යොමු කර ගැනීමේ රටාවක් සකසා ගන්න. දෙපැත්තකින් ම ඔබේ කථා පුවත් සාරවත් කර ගැනීම උදෙසා නව තාක්ෂණය භාවිත කරන්න. විශ්වවිද්‍යාලයන්හි නිලතල උසුලන විද්වතුන් ගේ හරබර දැනුම ඔබේ කථා පුවත්වලට උපයෝගි කර ගැනිමේ රටාවක් ගොතාගන්න.   

 

-මෙත්ලාල් වීරසූරිය  

Leave a Reply