යහපත් මාධ්‍ය භාවිතයකට අයහපත් ලෙස බලපාන 20 සංශෝධනය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ විසිවන සංශෝධනය 2020 සැප්තැම්බර් 2 වෙනි දිනැති ගැසට් පත්‍රයෙහි ප්‍රකාශයට පත් කර තිබේ. මේ වන විට එම කෙටුපත ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ලක් වෙමින් තිබේ- මෙම කෙටි ලිපියෙන් 20 වැනි සංශෝධනයෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථානුකූල හා ආයතනික වෙනස්කම් කිහිපයක් යම් උපකල්පන ඇසුරෙන් සාකච්ඡාවට ලක් කෙරෙන අතර යහපත් ජනමාධ්‍යකරණයට එමගින් ඇතිවන හා ඇති විය හැකි සෘජු මෙන්ම වක්‍ර බලපෑම් සැකෙවින් ඉදිරිපත් කෙරේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථව මෙරට ඕනෑම පුරවැසියෙකුට නිදහස් ජනමාධ්‍යකරණයක යෙදීමට අවශ්‍ය වැදගත් මූලික අයිතිවාසිකම් දෙකක් ප්‍රදානය කර තිබිණි. ඉන් පළමුවැන්න සිතීමේ හා හෘදය සාක්ෂියේ නිදහසයි. දෙවැන්න භාෂණයේ නිදහස ඇතුළු අදහස් ප්‍රකාශකිරීමේ නිදහසයි. ඕනෑම පුරවැසියෙකුගේ සිතුවිලි විශ්වය කිසිදු සීමාකිරීමකට ලක්නොකර තමාගේ ජනප්‍රිය හා රාජ්‍ය සමග එකගවන අදහස් මෙන් ම ජනප්‍රිය නොවන, රාජ්‍ය සමග එකග නොවන-විකල්ප අදහස් නිර්භයව ප්‍රකාශය කිරීමට මෙම අයිතිවාසිකම් විසින් ජනමාධ්‍යවේදීයා දිරිගන්වන ලදී.

කෙසේවුවත් පුරවැසියාට එක් අතකින් ප්‍රදානය කර තිබෙන අයිතිවාසිකම් මගින්ම පුරවැසි අදහස් රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආර්ථිකය හා වාර්ගික-ආගමික සහයෝගීතාවය අර්බූදයට ලක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේක්ෂා නොකරයි. එමනිසා ව්‍යවස්ථාවේ දක්වා ඇති නීතිමය සීමාවන්ට යටත්ව ඉහත අයිතිවාසිකම් භුක්තිවිදීමට ජනමාධ්‍යවේදීයෙකුට වෙනත් කිසිදු බාධාවක් මෙරට මූලික නීතියේ දක්වා නොමැත.

අදහස් මගින් පමණක් තමන් සිතන හා තමාට හැගෙන දේ කාල්පනිකව ඉදිරිපත් කිරීමට ජනමාධ්‍යවේදීයාට අවසර ඇතත් එයට යම් අගයක් එකතුවන්නේත් තම අදහස වටා පාඨකයාගේ විශ්වසනීයත්වයේ පරිමාව ඉහළ නගින්නේත් නිශ්චිත තොරතුරු මගින් තම අදහස් තහවුරු කිරීමෙන් පමණි. එම කාර්යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම ජනමාධ්‍යවේදීන්ට පහසු කරනු ලබන්නේ ව්‍යවස්ථාව භාවිතයට පැමිණීමෙන් වසර 37කට පසුව 19 වැනි සංශෝධනය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීම මගිනි- තොරතුරු දැනගැනීමේ කොමිසම ප්‍රකාශයට පත් කර ඇති “Reflections on Sri Lanka’s RTI Act & RTI Regime” කෘතියේදී සිංහ රත්ණතුංග (ලිපිය:A Law for Journalists – not ‘Churnalists’  පි-21) විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ජනමාධ්‍යවේදියෙකුට රාජ්‍ය කේන්ද්‍රීය තොරතුරු හබායාමට ඇති බලවත් ම ආයුධය යැයි සඳහන් කරයි.

විසිවැනි සංශෝධනයය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට හෝ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට සෘජු බලපෑමක් එල්ල වී නැත- එහෙත් එහි සැළකිය යුතු වක්‍ර බලපෑමක් ඇති බව අමතක  නොකළ යුතුය. පළමුවෙන්ම, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ පත් කිරීම්වලට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා නොමැති අතර තොරතුරු දැනගැනීමේ අයිත්වාසිකම් පිළිබද පනතේ ඒ පිළිබද විධිවිධාන දක්වා තිබේ. ඒ අනුව පත්කිරීම් සිදුකිරීමේදී ජනාධිපතිවරයා විසින් “ව්‍යවස්ථාදායක සභාවේ” නිර්දේශ ලබා ගත යුතුය- 20වැනි සංශෝධනයෙන් ව්‍යවස්ථාදායක සභාව ඉවත් කර ඇති අතර ඒ වෙනුවට “පාර්ලිමේන්තු සභාව” පිහිටුවීමට යෝජනා කර තිබේ.

තොරතුරු පනතේ දැක්වෙන්නේ කොම්සමේ පත්කිරීම් සදහා ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ අවශ්‍ය බවයි- එහෙත් 20 වැනි සංශෝධනය යටතේ තවදුරටත් ව්‍යවස්ථාදායක සභාවක් නොපවතී- එසේම පාර්ලිමේන්තු සභාව යනු නිර්දෙශ ඉදිපත් කිරීම මගින් ජනාධිපතිවරයා බැදීමට ලක් කළ නොහැකි හුදු නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකි සභාවක් පමණි- යම්හේකින් ඒ ආකාරයට පනත සංශෝධනය කිරීමෙන් පසු 19 වැනි සංශෝධනයේදී මෙන් නොව ජනාධිපතිවරයාගේ අභිමතයෙන් තොර තැනැත්තන් කොමිසමට පත් නොවනු ඇත- එය තොරතුරු කොමිෂම ජනමාධ්‍යවේදීන්ටත් පොදුවේ පුරවැසියාටත් තොරතුරු සපයමින් මෙතෙක් සිදුකළ කාර්යය හා ස්වාධීන පැවැත්ම අර්බූදයට යාමට නිමිත්තක් විය හැක- අනෙක් අතට තොරතුරු දැනගැනීමේ කොමිෂම ස්වාධීනව කටයුතු කරන්නේ යැයි අනුමාන කරමු- එහෙත් 20 වැනි සංශෝධනය යටතේ අනෙකත්ු සෑම කොමිෂන් සභාවක් ම පත්කිරීම පිළිබද ජනාධිපතිවරයාගේ සෘජු අභිමතයට යටත් වන කල ඊට වෙනස් කාර්යයක් තොරතුරු දැනගැනීමේ කොමිසමට තනිව ඉටු කිරීමට නොහැකි  වනු ඇත.

යෝජිත කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වැනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට යෝජනා කර තිබේ. එයින් විගණකාධිපතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බව දැක්වේ. කෙටුම්පතින් 154 වැනි ව්‍යවස්ථාව ද සංශෝධනනය කිරීමට යෝජනා කර ඇති අතර නව සංශෝධන්යෙන් විගණකාධිපතිවරයාට රාජ්‍ය ආයතන 11ක් විගණනය කිරීමට හැකිය. එහෙත් 20 වැනි සංශෝධනය යටතේ “ජනාධිපති ලේකම් කාර්යාලය” හා “අග්‍රාමාත්‍ය කාර්යාලය” විගණනය කිරීමට විගණකාධිපතිවරයාට පෙර තිබූ බලය ඉවත් කර තිබේ. එනම් එම කාර්යාල විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් බැහැරව තැබීමයි. එමගින් ජනමාධ්‍යවේදියෙකුට පමණක් නොව සාමාන්‍ය පුරවැසියෙකුට වුවත් එම කාර්යාලවල ගිණුම්කටයුතුවලට අදාළ තොරතුරු වෙත ප්‍රවේශවීමේ ඉඩ ප්‍රස්ථාව අහිමි වේ. උදාහරණයක් ලෙස පෙර තත්වය යටතේ වීරකේසිරි පුවත්පතේ සහාය කර්තෘ එස් සිවකුමාරන් ජනාධිපතිවරයා විසින් 2010 වසරේ සිට ජනාධිපතිවරයා විසින් උදාවන නව අලුත් අවුරුද්දක පුරවැසියන්ට දුරකථන කෙටි පණිඩුඩ යැවීම සදහා ඒ ඒ ආයතනවලට මුදල් ගාස්තු ගෙවීම් පිළිබද තොරතුරු ලබාගැනීමට උත්සහ කර තිබේ.

එසේම 2007 නව සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති රජය විසින් කොටස් 50%කට වඩා හිමිකාරීත්වය දරණ කිසිදු සමාගමක් විගණනය කිරීමට 20 වැනි සංශෝධන යටතේ විගණකාධිපතිවරයාට බලය නොලැබේ. නිදසුනක් ලෙස රජය 50%කට වඩා කොටස් හිමිකාරීත්වය දරන එයාර් ලංකා ආයතනය හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වාර්ෂික විගණයකට යටත් නොවන බවය. මෙම ආයතන විගණණයකට ලක් නොවීම තුළ ඒවායේ මූල්‍යමය තත්වය, ව්‍යාපාර ගිවිසුම් ආදී වැදගත් තොරතුරු අනාවරණය විය නොහැකිය- එමගින් වක්‍රාකාරයෙන් නිවැරදි තොරතුරු වාර්තාකිරීමේ නිදහස් අවකාශය සිමා වනු ඇත.

විවිධ රාජ්‍ය ආයතන සදහා නිළධාරීන්  පත්කිරීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථවෙන් ලැබී තිබූ අභිමතානුසාරී බලය 19 වැනි ව්‍යාවස්ථා සංශෝධනය මගින් සැළකියයුතු ප්‍රමාණයකින් සීමා කරන ලදී- එම සංශෝධනයේ යටතේ පිහිටුවා තිබූ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවන ලද කොමිෂන් සභාවල සභාපතිවරු හා සාමාජිකයන් ඇතුළු රජයේ ඉහළම ධුර සදහා පත්කළ යුතු තැනැත්තන් නිර්දේශ කරන ලදී 20 වැනි සංශෝධනයේදී එම කාර්ය සදහා පාර්ලිමේන්තු සභාව පිහිටුවීමට යෝජනා කර තිබේ. ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභා 9කට අදාළ පත්කිරීම් සදහා නිර්දේශ ඉදිරිපත් කරන ලදී එසේම එම නිර්දේශවලින් ජනාධිපතිතුමා බැදීමට ලක්වේ. නිර්දේශවලට එපිටින් පත්කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. එහෙත් පාර්ලිම්න්තු සභාවට කොමිෂන් සභා 7කට අදාළව පමණක් නිරීක්ෂණ ඉදිරිපත් කළ හැකිය- ඒ අනුව 19වැනි සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද වැදගත් කොමිෂන් සභා 2ක් 20වැනි සංශෝධනයෙන් ඉවත් කර තිබේ. “විගණන සේවා කොමිෂන් සභාව” හා “ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව” එසේ ඉවත් කර ඇති කොමිෂන් සභා වේ.

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පිහිටුවන ලද්දෙ සාධාරණ, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුත්, තරඟකාරී සහ අරපිරිමැසුම්දායක ක්‍රියාපටිපාටින් සහ මාර්ගෝපදේශයන් සැකසීමේ අරමුණෙන් ය. විගණන සේවා කොමිසම රජයේ අභ්‍යන්තර විගණනය පිළිබද සැබෑව හෙළිදරව් කරයි- කළින් ද සදහන් කර ඇති පරිදි  19 වැනි සංශෝධනය මගින් විගණකාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා පත් කරනු ලැබේ. එහෙත් 20 වැනි සංශෝධනයේ 153 (1) ව්‍යවස්ථාව මගින් විගණකාධිපතිවරයා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සෘජු ලෙසය- එනම් විගණකාධිපතිවරයා පෙර තත්වය මෙන් නොව ජනාධිපතිවරයාගේ අභිමතය මත පත්වීම පමණක් නොව ක්‍රියාකිරීමද අපේක්ෂා කළ යුතුය- 20 වැනි සංශෝධනයෙන් ඉවත් කර ඇති කොමිෂන් සභා දෙකම රාජ්‍ය අල්ලස හා දූෂණය මැඩලීම යන එකම අරමුණක් සදහා ස්ථාපිත කරන ලද ආයතන වේ- ඒ අනුව මෙතෙක් එම කොමිෂන් සභා ඉටුකළ කාර්යය 20 සංශෝධනය යටතේ රාජ්‍ය අල්ලස හා දූෂණය මැඩලීමේ කාර්ය සදහා ඵලදායී ලෙස යොදාගැනීමට නොහැකි වනු ඇත- එමගින්ම අල්ලස හා දූෂණය මැඩලීමට සත්භාවයෙන් යුතුව වැඩ කරන ජනමාධ්‍යයන්ට එම විෂයන්ට අදාළ නිවැරදි තොරතුරු වාර්තා කිරීම වඩාත් දුෂ්කර වනු ඇත.

20 වැනි සංශෝධනයේ සාරය සමස්තයක් ලෙස ගෙන බැලීමේදී විධායක තම ක්‍රියාවන්ට හේතු දැක්වීම් නොකරන මෙන්ම වගකීමෙන් නොබැදෙන සමස්ත ආණ්ඩුකරණයට වෙත බලය ගලා යන බල මූලය ලෙස නැවත ඉස්මතු වී තිබේ. 20 වැනි සංශෝධන්යේ එන 35 වැනි වගන්තිය දක්වන්නේ “ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර වූ හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයයෙහි ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේය.” යනුවෙනි. ඉකුත් සැප්තැම්බර් මස 28 වැනි දා අන්තර්ජාතික තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සංවාදයේ අදහස් දැක්වූ මාධ්‍යවේදීන්ගේ පොදු නිගමනය වූයේ තොරතුරු ඉල්ලා සිටීමේදී පොදු අධිකාරී දෙසින් මර්දනකාරී ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවයි. එය නව ප්‍රවණතායව නම් ඊට අතිරේකව විධායකය දෙසින් දණ්ඩමුක්ති සංස්කෘතියක් (කිසිදු වගකීමක් හෝ දඬුවමක් නොලබන) වේගයෙන් වර්ධනය වීම ක්‍රියාකාරී ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය භාවිතය බොහෝසෙයින් අධෛර්යය කිරීමට හේතු විය හැක.

 

Leave a Reply