ලංකාවේ වාර්ගික අර්බූදයක් තිබුනාලු

ලංකාවේ වෙසෙන ජාතීන් අතර ගොඩනැගිය යුතු සාමය සහ සංහිඳියාව පිලිබඳ මාතෘකාව ප්‍රධාන දේශපාලන න්‍යාය පත්‍රයෙන් මුළුමනි ම බැහැර වී තිබේ.ඉතිහාසය පුරා එම මාතෘකාව වරින් වර මතු වෙමින් ප්‍රමාණාත්මක නොවූ සමාජ කතිකාවක් නිර්මාණය කර යලිත් යට යන ස්වරූපයක් ගන්නා බව පෙනෙන්නට තිබේ.ජිනීවා හි රැස්වෙන මානව හිමිකම් කවුන්සිලය පිළිබඳ මාතෘකාව මතුවන මතු වන අවස්ථා වල දෙමළ සහ මුස්ලිම් ජන වර්ගයන් මේ රටේ සිටින බව බලයේ සිටින ආණ්ඩුවලට සිහිපත් වේ.නමුත් වත්මන් ආණ්ඩුව ට එවැනි අවස්ථාවක හෝ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇති වේ යැයි උපකල්පනය කළ නොහැකි ය.සිංහල අන්තවාදය සහ ආගමික අන්තවාදය විසින් වත්මන් ආණ්ඩුවේ පාලන දේහය පිළිලයක් සේ වසා ගෙන ඇති තත්ත්වයක් යටතේ සාමය සහ සංහිඳියාව මුළුමනින්ම දේශපාලන න්‍යාය පත්‍රයෙන් බැහැර වූ මාතෘකාවක් බවට පත් කර තිබේ.

උතුරේ පැවැති තිස් වසරක යුද්ධය මිලිටරි  වශයෙන් පරාජය කිරීමට නායකත්වය ලබා දුන් පුද්ගල චරිත වත්මන් ආණ්ඩුවේ නායකයන් ලෙස කටයුතු කරමින් සිටී.යුද්ධය අවසන් කිරීමේ ආශ්වාදනීය මනෝ භාවයෙන් සිටින බහුතර සිංහල ඡන්ද පදනමෙන් බලයට පත් වූ ඔවුහු  සිතා මතාම මේ රටේ වාර්ගික ගැටලුවක් තිබෙන බව අමතක කර දමා ඇත.

මේ ආණ්ඩුව විසින් මෑතක දී සම්මත කරගන්නා ලද විසි වන ව්‍යවස්ථා සංශෝධනයේදී හෝ උතුරු නැගෙනහිර ජනතාව පිළිබඳ සුළු ජන වර්ගයන්ගේ අයිතීන් සම්බන්ධයෙන් අවධානයක් යොමු කෙරුණේ නැත.එසේ නොකළා යැයි කියා මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ එය මාතෘකාවක් බවට පත් පත් වූයේ ද නැත.රටේ ස්ථාපිත අධිපති මතවාදය ඒ තරමට ම ප්‍රබල වී තිබේ.

මේ රටේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් සිංහල බෞද්ධයන් බැවින් මැතිවරණ ජයග්‍රහණය සඳහා ඔවුන් දිනා ගත හැකි දේශපාලන න්‍යාය පත්‍රයක් ආණ්ඩුව  සකස් කළේ ය.විදේශීය බලවේග සමඟ දේශීය වශයෙන් ක්‍රියාත්මක දෙමළ මුස්ලිම් අන්තවා ද ය පරාජය කිරීමේ හැකියාව ඇත්තේ වත්මන් පාලන තන්ත්‍රයට යන  මතවාදය ආණ්ඩුව ජන ගත කළ අතර එය සාර්ථක වූ බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන්නට තිබේ.මෙම ජයග්‍රහණයත් සමඟ තිස් වසරක යුද්ධය ක ට මං පෙත් විවර කළ මේ රටේ ජනවාර්ගික  අර්බුදයට හේතු වූ විෂයානුබද්ධ සාධක  සියල්ල අහෝසි වී ඇතැයි යන ප්‍රවාදය නූතන ජන සම්මතය බවට පත්ව ඇත.එසේම වර්තමාන ආණ්ඩුව දේශමාමක බලවේගයන්ගෙන් සැදුම්ලත්  බටහිර විරෝධී පාලන තන්ත්‍රයක්  ය යන මිථ්‍යාව ද බරපතළ ලෙස සමාජ ගත වී තිබේ .මේ හේතුවෙන් නුදුරු අනාගතයේ දී ජිනීවා සහ ඒ සම්බන්ධ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍යය ට එරෙහි ව කුමන්ත්‍රණයක කොටසක් ලෙස අර්ථ දැක්වීම ට නූතන පාලන තන්ත්‍රය උත්සුක වනු ඇත.

මේ මොහොතේ ලාංකීය දේශපාලන න්‍යාය පත්‍රයෙන් ඉවත් කෙරෙනු වාර්ගික අර්බුදය ට දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පිළිබඳ මාතෘකාව මේ ආණ්ඩුවේ පසුගිය දූර කාලයේ දී සුවිශේෂී ආන්දෝලනයක් රට තුළ නිර්මාණය කළේ ය.යුද්ධය අවසන් කිරීමට සහාය ලබා දුන් යුරෝපා සංගමය,එක්සත් ජාතීන්ගේ සංවිධානය,බටහිර රටවල් යුද්ධය අවසන් කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ට දේශපාලන විසදුමක් ලබා දෙනු ඇතැ යි බලාපොරොත්තු විය.මෙ රට උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවියෝජනීය බැඳීමක් සහිත ඉන්දියාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ 13+ ලබා දෙන බවය.යුද්ධය අවසන් වුවද ආණ්ඩුව ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කළේ නැත.ඒ සම්බන්ධයෙන් එම රටවල් ක්‍රියාමාර්ග ගන්නා විට එය අර්ථකථනය කරනු ලැබූයේ බටහිර රටවල අත පෙවීමක් ලෙස ය.රට අභ්‍යන්තරයේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට තිබියදී එය ජාත්‍යන්තරකරණය කරනු ලැබුවේ ද  පැවති එම ආණ්ඩුව විසිනි.අවසානයේ   ජාත්‍යන්තරයේ තෙරපුම තීව්‍ර වීම හේතු කර ගෙන යුද්ධය අවසන් කිරීමෙන් පසු යළි එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා යැයි පවසමින් උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කොමිසම (LLRC)පත් කළේය.එය පත් කරනු ලැබූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.එහෙත් එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ද ආණ්ඩුව මග හැරියේය.ජිනීවා මානව හිමිකම් කොමිසම එදා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ අන් යමක් නොව එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ය.2009 දී ජිනීවා මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ලබා දුන් ඉන්දියාව පසුව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.2005 සිට ඉන්දියාවට ලබා දුන් බොරු පොරොන්දු ඊට හේතු විය.කෙසේ නමුත් බටහිරින් පැමිණි තෙරපීම හමු වේ ලංකාවේ පාලනය වඩ වඩාත් චීනයට සහ රුසියාව ට  සමීප වීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය . යුද්ධය අවසන් කිරීමෙන් පසු සංක්‍රාන්තික සමයේ යුක්තිය ඉෂ්ඨ කිරීමට අපොහොසත් වූ එම ආණ්ඩුවේ ම බහුතරයක් දෙනා වත්මන් ආණ්ඩුවේද නායකත්වය ගෙන සිටී.නිහඩ අධිකාරිවාදය හමුවේ රට තුල සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ක්‍රියාත්මක බලවේග අකර්මණ්‍ය වෙමින් තිබේ.මෙය යහපත්  තත්ත්වයක් නොවේ.

ආණ්ඩුව  ව්‍යවස්ථා  සම්පාදනයෙන් බලාපොරොත්තු වන්නේ තමන් මුහුණ දී සිටින ගැටළු ඒ තුළින් විසඳා ගැනීමය. ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි අවධානය යොමු කරන බවක් නො පෙනේ.මෙම තත්ත්වය රට තුළ නිර්මාණය වීමට ආණ්ඩුව ද පැවැති යහපාලන ආණ්ඩුව ද මුළුමනින්ම  වගකිව යුතු ව තිබේ.ඔවුන්ගේ පාලන කාල සීමාව තුළ ද මේ රටේ වාර්ගික සාමය සඳහා සාධනීය මැදිහත්වීමක් සිදු කෙරුණේ  නැත.මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වෙමින් තිබෙන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දී සුළු ජාතික සහ ආගමික  කොටස් වල කාර්යභාරය පිළි නොගන්නා තත්වයකට වත්මන් ආණ්ඩුව ගමන් කිරීමය.

මේ ආණ්ඩුව නිර්මාණය කිරීමට දායක වූ බලවේගයන්ගේ ආකල්පය වී ඇත්තේ උතුර භෞතික වශයෙන් සංවර්ධනය කිරීමෙන් ප්‍රශ්නය ගොඩින් බේරා ගත හැකිය යන්න ය .වත්මන් විපක්ෂයට මෙකී අර්බුදයේ දිග පළල සම්බන්ධයෙන් ස්ථාවරයක් නැත.ඔවුන් ද මාන බලමින් සිටින්නේ සිංහල බෞද්ධ බලවේගයේ කොටසක් තමන් සතු කර ගනිමින් ගොඩ වැඩි කරගැනීම සඳහාය.එසේ නොමැතිව ඔවුන්ට වෙනත් විකල්ප වැඩපිලිවෙලක් නොමැත.

මේ රටේ ජන වාර්ගික සාමය සම්බන්ධ අවධානය යොමු නොකිරීමේ අවසන් ප්‍රතිඵලය සුළු ජනවර්ග තුළ වැඩෙමින් පවතින අන්තවාදී කොටස් පෝෂණය වීම ය.එය මේ ආණ්ඩුවේ පැවැත්ම තවදුරටත් තහවුරු කරගැනීම සඳහා නමුත් උත්ප්‍රේරකයක් විය හැකි නමුත් අනාගත පරපුරට ගෙවීමට සිදුවන වන්දිය බරපතළය.මේ ආණ්ඩුව ඉදිරියේ දී නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව පැවසුව ද සුළු ජාතීන්ගේ ගේ දායකත්වය ඊට ලබා ගන්නා ආකාරයක් පිළිබඳ කිසිවක් නොකීමට වගබලා ගෙන තිබේ.අදාල ප්‍රතිසංස්කරණ වල දී ප්‍රජාතන්ත්‍රීය ආයතන ව්‍යුහයන් ශක්තිමත් කිරීම අනිවාර්ය වන නමුත් එය එසේ වේ යැ යි උපකල්පනය කළ නොහැකිය.මහ  ජනයාට, සිවිල් සමාජය ට ,විවිධ සමාජ කණ්ඩායම් වලට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවට නැගීමේ ක්‍රියාදාමයේ දී  ඊට දායක විය හැකි අවකාශය පුළුල් විය යුතු ය .ඒ සඳහා අවස්ථාව ලබා ගැනීමට සමාජය තුළ කතිකාවක් නිර්මාණය විය යුතු ව ඇත.

රටේ ක්‍රියාත්මක අධිපති මාධ්‍ය ධාරාව විසින් ඊට අවැසි ඉඩකඩ සලසන්නේ නැති නැති බව පැහැදිලි ය .ඔවුන් මේ මොහොතේ කරමින් සිටින්නේ ජාතීන් අතර වෛරය වැපිරීම ය. එබැවින් විකල්ප මාධ්‍ය භාවිතයෙන් හෝ පුළුල් සංවාදයක් ගොඩ නැගීමේ වෙහෙසකර කටයුත්තට අතගසා  සාමයට සංහිඳියාවට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි පුරවැසියන් තමන් වෙත පැවරී ඇති අත්හල නොහැකි වගකීම ඉටු කළ යුතුව ඇත.

 

Leave a Reply