ව්‍යාජ පුවත්වලට වැට බඳින්නේ කෙසේද?

ව්‍යාජ පුවත් හෙවත් Fake News යනු ලෝකය පුරා මේ වනවිට බොහෝ දෙනෙකු අවධානය යොමු කරන සහ බොහෝ දෙනෙකු අපහසුතාවට පත්කරන කරුණකි. නීති රීති සහ සම්ප්‍රදාය නිසාම පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය අතර එතරම්ම ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරණයක් සිදු නොවූවත්, වර්තමානයේ ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් ඉතා ශීඝ්‍රයෙන් හුවමාරු වනු දැකීම සුලබ දෙයකි. එම ව්‍යාජ පුවත් ජීවිත හානි පවා සිදුවීමට හේතුකාරක වී ඇති අතර ලෝකයේ දේශපාලන සහ ආර්ථික රටාවට ඉන් ඇතිවන බලපෑම ද සුවිශාල ය.

ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවතක් යනු කිසියම් හෝ කූඨ අරමුණක් සහිතව, හිතා මතාම කරුණු විකෘති කරමින් හෝ මවා පාමින් මූලාශ්‍ර රහිතව පළ කරන පුවතක් ලෙස හැඳින්වෙයි. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.

ව්‍යාජ පුවත් පළ කරන්නේ ඇයි?

ව්‍යාජ පුවත් පළකරන්නාට විවිධ අරමුණු තිබිය හැකි ය. සමහර විටක බොහෝ දුරදිග සිතා බලා යම් ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙම පුවත් පළකරන්නට යම් පාර්ශවයක් කටයුතු කරනවා විය හැකි ය. පුද්ගලයෙකුගේ හෝ ආයතනයක කිර්තිනාමය විනාශ කිරීමට ද ව්‍යාජ පුවත් ඇතැම් අවස්ථාවල යොදා ගන්නා අයුරු දැකිය හැකි ය.

කිසිදු සැලසුමකින් තොරව, සමාජයට වැරදි තොරතුරක් ලබාදී පොදු ජනතාව රැවටෙන අයුරු දෙස බලා සතුටු වීමේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට වුව ද ව්‍යාජ පුවත් පළ කිරීමේ අවස්ථා අපට දැක ගත හැකි ය.

ව්‍යාජ පුවත්වල විකාශනය මානව ශිෂ්ටාචාරය තරම් ම දුර ඉතිහාසයකට උරුමකම් කියන බවට සාධක පවතියි. පළමුවන සියවසේදී මාර්ක් ඇන්තනී නම් වූ රෝමානු දේශපාලකයා ගේ සිය දිවි නසාගැනීමට හේතුව ද ඔහු පිළිබඳ පැතිරුණු වැරදි ආරංචියක් බවට තොරතුරු වාර්තා වේ.

ව්‍යාජ පුවත් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවත් හදුනා ගැනීමට නම් ඔබට යම් ප්‍රමාණයක බුද්ධියක් මෙන්ම ලෝක ස්වභාවය ගැන අවබෝධයක් ද තිබිය යුතු ය. බැලූ බැල්මට සාමාන්‍ය පුද්ගලයෙකුට බොරුවක් හෝ ව්‍යාජයක් බව හැඟී යන බොහෝ පුවත්, ජායාරූප හෝ වීඩියෝ දර්ශන දුටු සැණින් ඇත්තක් සේ සලකා ඒවා සමාජ ජාල හෝ වෙනත් මාධ්‍ය වේදිකා හරහා හුවමාරු කරගන්නා අය අපේ සමාජයේ ඉතා සුලබව දැක ගත හැකි වෙයි.

2016 වසරේදී පැවැති ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදී සිදු කළ සමීක්ෂණය්කදි හෙළි වී තිබෙන්නේ ජනාධිපතිවරණය පිළිබඳ පළ වූ ව්‍යාජ පුවත් 20ක්, ඒ පිළිබඳ පළ කළ නිවැරදි (සත්‍ය) පුවත් 20කට වඩා වැඩි ජනතා අවධානයක් දිනාගෙන ඇති බව ය.

ෆේස්බුක් සමාජ ජාලය තුළ සිංහල භාෂාවෙන් පළ කෙරෙන වෛරී ප්‍රකාශන නිරීක්ෂණය සහ වාර්තා කිරීම පිණිස උපකාර කරන්නැයි ෆේස්බුක් සමාගම තමන්ගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකාවේ සමාජ ජාල විශ්ලේෂකයන් පිරිසක් බීබීසී සිංහල වෙබ් අඩවියට ද පසුගිය දා පවසා තිබිණි.

ව්‍යාජ පුවත් හඳුනා ගැනීම

නිවැරදි කරුණු මත පදනම්ව ලියූ විශ්වාසනීය පුවත්වලින් කිසිවෙකුටත් ආස්වාදයක් ගෙන නොඑන බව අනාවරණය වී ඇත. ව්‍යාජ පුවත් සමාජය ඉතා ඉක්මනින් තිගැස්මකට ලක්කරන අතර, පුවතක නිරවද්‍යතාව හදුනා ගැනීමට නොහැකි තරම් අල්ප බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින්ට එයින් තමන්ගේ ජාතිවාදී, ආගම්වාදී සහ ඇතැම් පරිභෝජනවාදී හැඟීම් ඉක්මනින්ම දෙගුණ තෙගුණ වන උත්තේජනයක් සැපැයෙන බවට තොරතුරු තහවුරු ව තිබෙයි. ව්‍යාජ පුවත් පළකරන්නන්ගේ ප්‍රධාන අරමුණත් එය බව තවදුරටත් අනාවරණය වී ඇත.

ලෝක පුස්තකාල සංගම් සම්මේලනය ( International Federation of Library Associations and Institutions – IFLA) ව්‍යාජ පුවත් හඳුනා ගැනීමේදී මහජනතාව අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ව්‍යාජ පුවතක් හදුනාගැනීම සදහා පහත සදහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න.

  1. මූලාශ්‍රය සොයන්න.
  2. සිරස්තලය පමණක් නොව මුළු පුවතම කියවන්න.
  3. පුවත් රචකයා හෝ වාර්තා කරු පිළිබඳ සොයන්න.
  4. පුවත සනාථ කරන බාහිර මූලාශ්‍ර කෙරෙහි ද අවධානය යොමු කරන්න.
  5. පුවත පළ කළ දිනය ගැන සිතා බලන්න.
  6. එය විහිළුවක්ද සත්‍යයක් ද යන්න තහවුරු කරගන්න.
  7. එම පුවතින් ඔබේ සිතුවිලිවලට ඇතිවූ බලපෑම ගැන නැවත සිතන්න.
  8. පුවත පිළිබඳ, වැඩි අවබෝධයක් සහිත පාර්ශවයකින් නැවත විමසන්න.

 

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයක් පිළිබඳ බීබීසී සිංහල වෙබ් අඩවියේ ද කරුණු අන්තර්ගතව පවතියි. එම කරුණුවල සාරාංශය පහත දැක්වෙන ලෙසිනි.

  1. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  2. අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  3. අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  4. අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  5. ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  6. අදාළ පුවත විශ්වාස දනවනසුලු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැකි බව ඔවුන් සඳහන් කරයි.

ව්‍යාජ පුවත් නිසා සිදු වූ බරපතළ හානි පිළිබඳ උදාහරණ ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් ඇති අතර මේ වන විට නිදහස්ව තොරතුරු ගලා යන සමාජයක ජීවත් වන අපගේ ජීවිතවලට ව්‍යාජ පුවත් සංසරණය එල්ල කරන බලපෑම සුළු පටු නොවන බව මින් වටහා ගැනීම අසීරු නොවනු ඇත.

පසුගිය දශකයේදී ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍යවල ශීඝ්‍ර ව්‍යාප්තිය නිසාත්, එම මාධ්‍යවල තොරතුරු ගලා යාමට කිසිදු නියාමනයක් නොමැති වීම නිසාත් මෙම ව්‍යාජ පුවත් සංසරණය වීමේ අර්බුදය උග්‍ර වී තිබෙයි. ෆේස්බුක් සමාගම මේ වනවිට මෙම ව්‍යාජ පුවත් හඳුනාගනිමින් ඒවා පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ද අරඹා තිබේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන අප ද ඉතා ඉක්මනින්ම ව්‍යාජ පුවත් සහප්‍රචාරයන්ට ඉක්මනින් ම රැවටෙනසුලු ජාතියක් බව එදා මෙදාතුර අප මුහුණ දුන් විවිධ සිදුවීම් හරහා අවබෝධ කර ගැනීම අසීරු කරුණක් නොවේ. ඉතා සාමකාමීව විසඳාගත හැකිව තිබූ ජනවාර්ගික සහ ආගමික ගැටලු, බොරු ප්‍රචාර හරහා විශාල සමාජ අර්බුද බවට පත්වූ අවස්ථා මෑත ශ්‍රී ලංකා ඉතිහාසයේ දැකීම අසීරු නැත.

සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිසි පිරික්සීමකින් තොරව කිසිදු පුවතක් එකිනෙකා අතර හුවමාරු කිරීමට දායකත්වය නොදැක්වීම සමාජය තුළ ව්‍යාජ පුවත් පැතිර යාම වැලැක්වීමට සිදු කළ හැකි හොඳම දායකත්වය වෙයි.

ජනමාධ්‍ය කලාව සනාථ කළ හැකි කරුණු මත පදනම් වූ කථා නිපදවයි. මුලාශ්‍රගත සාක්ෂි මගින් එයට සහාය දක්වයි, නිවැරදිව විකාශනය කරයි. ප්‍රවෘත්ති පිළිබඳ මෙම නිර්වචනය නූතන ප්‍රජාතන්ත්‍රවාදී, ජනමාධ්‍ය කලාවේ දී භාවිතා කරන ආදර්ශ පාඨයකි. එය නිසි ලෙස වටහා ගැනීම මෙන් ම එහි අරුත ඔස්සේ ක්‍රියාත්මකවීම ජනමාධ්‍ය කලාව තුළ මෙන් ම සමාජ අභ්‍යන්තරයේ ද ව්‍යාජ පුවත් සඳහා අනවශ්‍ය ඉඩකඩක් ලබා දීමේ ඉඩ කඩ අහිමි කරන්නට දායක වනු ඇත.

-මෙත්ලාල් වීරසූරිය

Leave a Reply