විකෘත්තියට යට නොවිය යුතු පුරවැසි බලය

සමගි ජන බලවේගය මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නව දේශපාලන බලවේගයකි. එහි සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ජන වර්ග තුන ම නියෝජනය වන පක්ෂ හා කණ්ඩායම්වලින් අපේක්ෂකයන් ඉදිරිපත් කර තිබුණි. එය 100%ක්ම සමාන ප්‍රතිශතයකින් නොවුණ ද සැලකිය යුතු විවිධත්වයක් සහිත බව නාම යෝජනා ලැයිස්තු පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. දිරිපත් වූ අනෙක් පක්ෂවල ද ඊට අවම වශයෙන් වූ සංකලනාත්මක ප්‍රතිශතයක් දැකිය හැකි වේ. නමුත් මැතිවරණයේ ආරම්භක අවදියේ සිට ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ සමගි ජන බලවේගය අන්තවාදීන්, බෙදුම්වාදීන් සමඟ අත්වැල් බැඳගත් පක්ෂයක් බවත් සිංහල ජාතියට මෙරට හිමිතැන අහිමි කරවන පක්ෂයක් බවත් ය. එබැවින් එම පක්ෂයට සිංහලයින් ඡන්දය ලබා නොදිය යුතු බවත්, එසේ ලබා දුන හොත් එය දේශද්‍රෝහී වීමක් බවත්,  සුළු ජාතික ඡන්දවලින් තොර ව සිංහල රජයක් ගොඩනැගිය යුතු බවටත් මතවාද ප්‍රචාරය විය.

 

aaaaaaaaaa                                   bbbbbbbbbbb

ඡායාරූපය 01                                                                              ඡායාරූපය 02

යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කවරාකාරයේ හෝ අන්තවාදී ක්‍රියාවකට අනුබල දීම ශිෂ්ට සමාජය විසින් කිසිසේත් ම අනුමත නොකරන බව අවිවාදිත ය. එවැනි ක්‍රියාවක දී නීත්‍යානුකූල ව කටයුතු කිරීම සිදු විය යුතුම ය. නමුත් අන්තවාදීන් ලෙස හුවා දක්වමින් යම් පිරිසක් හෝ පුද්ගලයෙක් වෙත පදනම් විරහිත ව ද්වේශ සහගත සහ වෛරී ලෙස චෝදනා එල්ල කිරීම හා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් එය කිසිසේත් අනුමත කළ නොහැකි ය. “පරයින් , හම්බයින්, තම්බින්” ආදි වශයෙන් අශිෂ්ට යෙදුම් භාවිත කරමින් ඡායාරූප සහිත ව දේශපාලනික වෛරය මුදා හැරීම අනුමත කළ නොහැකිය. සියලු ජන වර්ග නියෝජනය වන පාලනයක් වෙනුවට තනි සිංහල ආණ්ඩුවක් හැදීම වැනි අදහස් ජනගත කිරීම අතිශය විනාශකාරී ප්‍රතිඵල ගෙන දෙන්නක් මෙන් ම අතිශය අසාධාරණ ප්‍රකාශයක් ද වන්නේ ය.

cccccccc

ඡායාරූපය 03

මෙරට උපත ලබා මෙරට නීතිය යටතේ පුරවැසිභාවය ලද එහෙත් අදහන ආගමෙන් සහ කතා කරන භාෂාවෙන් පමණක් වෙනස් වූ ජන කණ්ඩායමක් රටේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගත යුතුය, රාජ්‍ය පාලනය තුළ අවස්ථාවක් නොදිය යුතුය යනුන අතිශය බරපතල ප්‍රකාශයකි.

දෙමළ මෙන් ම මුස්ළිම් ජනයාගේ ද මෙරට භෞමික පැවැත්ම ඓතිහාසික වශයෙන් දිගු කාලීනව සනාථ වූවකි. අනෙක් අතට පැවැත්ම ඓතිහාසික නොවුණ ද පවතින නෛතික ප්‍රතිපාදන යටතේ යමෙකු මෙරට පුරවැසියෙකු වශයෙන් පිළිගැනේ නම් ඔහුට හෝ ඇයට පුරවැසියෙකු වශයෙන් හිමි අයිතිය කිසිදු ලෙසකින් අභියෝගාත්මක නොවිය යුත්තේම ය.

සමගි ජන බලවේගය පක්ෂය ලද ආසනවලින් තුනෙන් එකක් මුස්ළිම් හා දෙමළ මන්ත්‍රීවරුන් විසින් නියොජනය කරනවා යනුවෙන් ද සමගි ජන බලවේගය පක්ෂය දිනූ ආසන 54න් 25ක් මුස්ළිම් ජාතිකයන් බවත් එබැවින් පක්ෂයේ නම මුස්ළිම් ජන බලවේගය වශයෙන් වෙනස් කරගන්න යනුවෙනුත් ප්‍රකාශ ෆේසබුක් පිටු මඟින් හා පුද්ගල ගිණුම් මඟින් ද ප්‍රචාරණය කර ඇත.

ddddd                                               eeeeee

ඡායාරූපය 04                                                                                    ඡායාරූපය 05

මෙහිදී මැදිහත් අවබෝධයකින් යුතු කවරෙකු වුවද අවධානය ‍යොමු කළ යුතු මූලික ද්විත්වයකි.

ප්‍රථමයෙන් ම ජන වර්ග වශයෙන් කවර කුලකයකට අයත් වුවද මැතිවරණයේ දී  තෝරා පත්කර ගනු ලබන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සඳහා නියොජිතයින් වන බැවින් ඉදිරිපත් වන්නා කවරෙකු වුවද ශ්‍රී ලාංකික මන්ත්‍රීවරයෙකු වශයෙන් පිළිගැනීමට හැකියාව පුරවැසියාටත්, තමා සතු වගකීම සහ යුතුකම ඒ අයුරින් කටයුතු කිරීම බව යන අවබෝධය මන්ත්‍රීවරයාටත් තිබිය යුතුය. (ජන වර්ග හා ආගම් පදනම් කරගත් පක්ෂ රහිත වීම ඊට පෙර තහවුරු විය යුතු සාධකයක් බව ද මෙහි ලා සඳහන් කළ යුතුය). එනම් මැතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද, ප්‍රකාශ නොවූ ඡන්ද, වලංගු ඡන්ද හා අවලංගු ඡන්ද විනා සිංහල ඡන්ද,දෙමළ ඡන්ද හෝ මුස්ළිම් ඡන්ද නොවන බවත් ඒ මෙහොතේ ක්‍රියාත්මක විය යුත්තේ පුරවැසි බලය විනා සිංහල බලය, දෙමළ බලය හෝ මුස්ළිම් බලය නොවන බවත් අවබෝධ කොට ගැනීම අර්බුදයට ඇති මූලික විකල්පයකි. විය යුතුව ඇත්තේ එයයි.

එහෙත් ජන වර්ග හා ආගම් මත පදනම් වූ පක්ෂවලින් සමන්විත මෙරට දේශපාලන ක්‍රමය සහ පුරවැසියා සතු ක්ෂුද්‍ර දේශපාලන සාක්ෂරතාව මත පෙර කී විය යුත්ත නොව ඉන් මෙපිට විසඳුමකින් හෝ අර්බුදය විසඳා ගැනීමට යත්න දැරිය යුතුව ඇත. අවම වශයෙන්, ජන වර්ග මත එවන් පක්ෂ නිර්මාණය වී ඇත්නම් එම ජන වර්ග නියොජනය කිරීම උදෙසා අදාළ පක්ෂවලට ඇති අයිතිය හෝ පිළිගැනීමටවත් දේශපාලන සංයමයක්, නම්‍යශීලීතාවක් තිබිය යුතුය.

එසේ වුවද මේ මොහොතේ මෙරට ක්‍රියාත්මක වනුයේ එකී තලයෙන්ද පහතට ඇද වැටුණු අතිශය භේදාත්මක වූ ජරාජීර්ණ වූ ක්‍රියාවලියකි.

මෙම ප්‍රකාශන හා සබැඳිව සාමාන්‍ය ජනයා විසින් එක් කර ඇති ප්‍රතිචාර විමසීමේ දී  එය කවරාකාරයේ සමාජමය බලපෑමක් සිදුකර තිබේද යන්න වටහා ගත හැකිය. එය අතිශයින් ම විනාශකාරී වූවකි. ජන මනස සාතිශය ලෙස අනතගාමී, ගෝත්‍රවාදී ආස්ථානයක් වෙත නැඹුරු වෙමින් පවතී.

පාර්ලිමේන්තු ආසන ජන අනුපාතය අනුව දිස්ත්‍රික්ක වශයෙන් බෙදීමේදී පැනනැගී ඇති සෛද්ධාන්තික තත්ත්වයක් ද මෙම අර්බුධය තීව්‍ර කිරීමෙහිලා හේතු වී ඇත. මුළු අසන 225න් 29 ක් ජාතික ලැයිසතු මන්ත්‍රීධූර වේ. ඉතිරි 196 එක් එක් දිස්ත්‍රික්කවල ජන අනුපාතයට සාපේක්ෂව බෙදා දෙනු ලැබේ. ඉන් අනතුරුව එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකිශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් එක් මන්ත්‍රීධූරයක් සඳහා කොපමණ ප්‍රතිශතයක් ලබා ගත යුතු ද යන්න මත අදාළ පක්ෂ අදාළ දිස්ත්‍රික්කවලින් දිනා ගනු ලබන මන්ත්‍රීධූර සංඛ්‍යාව තීරණය වේ. යම් පක්ෂයක් සියලු දිස්ත්‍රික්ක සඳහා නොව තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක පමණක් ඉදිරිපත් වී බහුතර මනාප ලදහොත් වෙනත් පක්ෂයක් සමස්ත දිවයිනට ම තරග කර ලබා ගන්නා ආසන ගණනට වඩා වැඩි ගණනක් එකී පළමු පක්ෂය ලබා ගැනීමට අවස්ථාව ඇත. මෙවර මැතිවරණයේදී ජාතික ජන බලවේගය මුළු දිවයිනටම තරග කර 3.84% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ආසන දෙකක් පමණක් දිනා ගන්නා විට ඉලංගෙයි තමිල් අරසු පක්ෂය දිස්ත්‍රික්ක පහකට පමණක් තරග කර 2.82%ක ප්‍රතිශතයක් සමග ආසන 9ක් දිනා ගත්හ. ප්‍රතිඵලය කෙසේ වුව ද මෙය පවතින ක්‍රමවේදය අනුගමනය කර ලද්දකි. එබැවින් එය ද්වේශ සහගත ලෙස ප්‍රතික්ෂේප කිරීම හෝ පහත් කොට සැලකීම යුක්ති යුක්ත නොවේ.

මෙකී අර්බුදයට විසඳුමි සෙවීමෙහිලා අප විසින් ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයකි.

පළමු කොට ශ්‍රී ලාංකිකයන් සිංහල, දෙමළ, මුස්ළිම් හෝ කවර ජන වර්ගයකට අයත් වුව ද සියලු දෙනා අන්‍යෝන්‍ය ගරුත්වය හා සුහදශීලිත්වය අගය කරන සමාජයක් ලෙස වෙනස් විය යුතුය. (එක් එක් ජන වර්ග සතු භාෂා අනන්‍යතා, සංස්කෘතික හා ආගමික වටිනාකම්, විවිධත්ව ඉවත් විය යුතු හෝ වෙනස් විය යුතු බවක් මින් කිසිසේත් ම අර්ථ නොගැන්වේ). ඉන් අනතුරුව මැතිවරණයක දී තමා ආධාරකරුවකු, පාක්ෂිකයෙකු නොව පුරවැසියෙකු බව අවබෝධ කර ගත යුතුය.

සත්‍ය වශයෙන් ම මෙරට ඇතතේ දේශපාලනය විසින් නිර්මාණය කරන ලද ජාතිවාදයක් හා අගම්වාදයකි. එය ප්‍රධාන ධරාවේ පක්ෂ හා ජන වර්ග මුල් කරගත් පක්ෂ විසින් නඩත්තු කරනු ලැබේ. සමාජ මාධ්‍ය අවකාශය එහිලා පනින රිලවුන්ට ඉනිමං බැඳීමකි.

ප්‍රස්තුත කරුණ සැලකීමේදී සමගි ජන බලවේගය තුළ දෙමළ හා මුස්ළිම් සාමාජිකයින් සිටීම අර්බුදයක් බව සමාජ ගත කළ ද සත්‍ය වශයෙන් ම සාධාරණත්වය අගයන සමාජයක් විසින් ප්‍රතිකෂේප කළ යුත්තේ එවැනි සංයුතියකින තොර දැඩි මතධාරී කණ්ඩායම් ය.එනම් සැබෑ අර්බුදය අර්බුදයක් නොවන ලෙසත් විය යුතු යුක්ති සහගත තත්ත්වය අරබුදය ලෙසත් හුවා දක්වනු ලබන විකෘතියක් සමාජ මාධ්‍ය විසින් නිරමාණය කර ඇත.

එය විසින් අපට තවදුරටත් යුක්තිය, සාධාරණත්වය සහ සමානාත්මතාව උදෙසා අප සතු වගකීම සහ යුතුකම සිහිපත් කරමින් අපව මනුෂ්‍යයින් වශයෙන් සජීවත්ව පවත්වා ගනු ඇත.

 

Leave a Reply