විසිවන සංශෝධනය සහ මාධ්‍ය නිදහස?

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මතවී මේ වනවිට රටේ නීතිය බවට පත්ව ඇත. එම සංශෝධනයේ ඇතැම් ප්‍රතිපාදන ජනමාධ්‍ය නිදහසට එල්ල කරන බලපෑමත් ශ්‍රේෂ්ඨාධිකරණ අවසන් නඩු තීන්දුව මගින් එහි බලපැම යම් තරමකට පාලනය වූ ආකාරය විමසා බැලීමත් මෙම කෙටි ලිපියේ අරමුණ වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සදහා වූ කෙටුම්පත 2020 සැප්තැම්බර් 2 වැනි දින රාජ්‍ය ගැසට් පත්‍රයේ පළ වී තිබුණි.එහි ව්‍යවස්ථානුකූලභාවය පාර්ශව 38ක් විසින් අභියෝගයට ලක් කර තිබුණි- සංශෝධනයේ අඩංගු මූලික විෂය කරුණු 26ක් සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සිය අවධානය යොමු කර තිබිණ- එම පෙත්සම් 38 සළකා බැලූ අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල යෝජිත 20වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය 2020 ඔක්තෝබර් 5වැනි දින ප්‍රකාශයට පත් කළේය. ඉන්පසු කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2020 ඔක්තෝබර් 20 වැනි දින පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
ඉන්පසු කාරකසභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන 50කට අධික සංඛ්‍යාවක් එකතු කරන ලද අතර පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයකින් (පක්ෂව ඡන්ද 156ක් හා විපක්ෂව ඡන්ද 65ක්) ඔක්තෝබර් 22වැනි දින 20වැනි සංශෝධනය සම්මත කරගන්නා ලදී.

 
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව පෙත්සම්කාර හා වග උත්තරකාර පාර්ශවයන් මූලික තර්ක දෙක බැගින් ඉදිරිපත් කරන ලදී- දෙපාර්ශවයම ස්වකීය තර්ක සංවිධානය කර තිබුණේ 20 වැනි සංශෝධනය සදහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයට අමතරව ජනමතවිචාරණයක් අවශ්‍යද නැද්ද යන්න න්‍යායාත්මකව සාකච්ඡාවට ගැනීමටය.

විශේෂයෙන්ම වගඋත්තරකාර පාර්ශවය වෙතින් ඉදිරිපත් වූ මූලික තර්ක 2වූයේඃ

1) 20වැනි සංශෝධනයේ කිසිදු ප්‍රතිපාදනයක් මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාමය ස්වරූපයට බලපෑම් නොකරන අතර එය වෙනස් කිරීමට ද ලක් නොකරයි. එමනිසා, සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමැතිය පමණක් ප්‍රමාණවත් වන අතර ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ.

2) 20 වැනි සංශෝධනයේ බොහෝ ප්‍රතිපාදන මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් ස්වරූපය නැවත බලාත්මක කෙරෙන අතර 19 වැනි සංශෝධනයට පෙර පැවති තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත පරිවර්තනය කිරීමට උත්සහ කරයි. එමනිසා 2/3ක පාර්ලිමේන්තු බහුතර බලයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය නොවේ.

Freedom House බුද්ධි පර්ශදය වාර්තා කළ ආකාරයට 2015 වසරේ සම්මත කරගන්නා ලද 19 වැනි සංශෝධනය සෘජු වශයෙන් 1978 වසරේ සිට ගොඩනැගෙමින් තිබූ “මෘදු ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය” දියාරු කිරීමට මුල් වී තිබේ. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනත යටතේ රාජ්‍ය ආයතන වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට පටන් ගැනීම, ප්‍රකාශනයේ නිදහස, විකල්ප ජනමාධ්‍යවේදීන්ට රාජ්‍යයේ බලපෑමෙන්න් තොර අදහස් ප්‍රකාශනයට නිදහස ලැබීම ආදී ගුණාංග ප්‍රජාතන්ත්‍රවාදයේ නව ප්‍රවණතා වේ- ඒ කෙරෙහි 19 වැනි සංශෝධනය හිතකර ලෙස බලපෑම් කළ බව Freedom House නිගමනය කරයි. එහෙත්, 20 වැනි සංශෝධනයේ බොහෝ ප්‍රතිපාදන මගින් 19 වැනි සංශෝධනය යටතේ ප්‍රජාතන්ත්‍රීකරණය කරන ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත එහි මුල් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකෘතියකින් ප්‍රතිසංස්කරණය කර තිබේ. එය හිතකර ජනමාධ්‍ය භාවිතයට බලපෑම්කාරකයක් ලෙස ක්‍රියාත්මක වේ.

පළමුවෙන් ම, විගණකාධිපතිවරයා හා විගණන සේවා කොමිෂන් සභාවට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වන ව්‍යවස්ථාවට සංශෝධන රාශියක් 20වැනි සංශෝධනය මගින් සිදුකර තිබේ. 153 ව්‍යවස්ථාවට අනුව විගණකාධිපතිවරයා වීමට මූලික සුදුසුකම වන විගණකවරයෙකු වීම යන විධිවිධානය 20 වැනි සංශෝධන්යෙන් ඉවත් කර තිබේ. එහි සරල අරුත නම් විගණකවරයෙකු නොවන අයෙකු වුවද එම ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි බවයි. එවිට රාජ්‍ය විගණනය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වීමට ඉඩ ඇත. එසේම අග්‍රාමාත්‍ය කාර්යාලය හා ජනාධිපති ලේකම් කාර්යාලය රාජ්‍ය විගණයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව රාජ්‍යයේ වැදගත්ම ආයතන දෙකක මුල්‍ය කටයුතුවලට අදාළ විශ්වාසනීය තොරතුරු ලබා ගැනීමට ජනමාධ්‍යවේදීන්ට මෙන්ම පොදු පුරවැසියාට ද හැකියාව නොලැබේ. එහෙත් 20 වැනි සංශෝධනයට අදාළ නඩු විභාගයේදී ගරු නීතිපතිවරයා සදහන් කළේ 2018 අංක 19 දරණ ජාතික විගණන පනත තවදුරටත් ක්‍රියාත්මක බැවින් ඉහත ආයත දෙක විගණනය කිරීමට මෙන්ම ඊට අදාළ තොරතුරු ලබාගැනීමේදී බලපෑමක් ඇතිනොවන බවයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරන ලද්දේ විගණකාධිපතිවරයා හා විගණන කොමිෂමට අදාළ විධිවිධාන සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලය පමණක් ප්‍රමාණවත් බවයි.

නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ලක්ෂණයකි.19වැනි සංශෝධනය මගින් නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට ව්‍යවස්ථාපිත බලය මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණි. 19 වැනි සංශෝධනයෙන් එකතු කරන ලද 104 (ආ) (5) ව්‍යවස්ථාව 20වැනි සංශෝධන කෙටුම්පතින් ඉවත් කිරීමට යෝජනා කර තිබුණි. 104 (ආ) (5) ව්‍යවස්ථාව යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමට අදාළව රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත උපමාන නිකුත් කිරීමේ බලය මැතිවරණ කොමිෂමට ලැබී තිබුණි. එහෙත් නීතිපතිවරයා විසින් මෙම ව්‍යවස්ථාව ඉවත් කිරීම මගින් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත උපමාන නිකුත් කිරීමට මැතිවරණ කොමිෂමට ඇති බලය අහෝසි කර නොමැති බව පෙන්වා දෙන ලදී. ඒ අනුව 2/3ක බහුතර අනුමැතියකින් පමණක් එම විධිවිධානය සංශෝධනය කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.

19 වැනි සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හදුන්වා දුන් 104 (උ) (උ) නව ප්‍රතිපාදනය ද 20 වැනි සංශෝධන්යෙන් කෙටුම්පතින් පරිච්ඡින්න කර තිබුණි. මැතිවරණයක් පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු නොකරන යම් රාජ්‍ය ආයතනයක්, රාජ්‍ය නිළධාරියෙක් හෝ පෞද්ගලික ආයතනයකට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට ව්‍යවස්ථාපිත බලය 104 (උ) (උ) ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමිසමට ලැබී තිබුණි. ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය වූයේ මෙම ප්‍රතිපාදනය ව්‍යවස්ථාවෙන් ඉවත් කීඊමෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන නිසා ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමට පැහැදිළිවම බලපෑම් කරන බවයි. ඒ අනුව ජනමත විචාරණයකින් තොරව එම ප්‍රතිපාදනය ඉවත් කර නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විය.

20 වැනි සංශෝධන කෙටුම්පතේ 5 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර තිබුණි. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයේ මෙන්ම පෞද්ගලික තත්වය යටතේ කරනු ලබන හෝ නොකරනු ලබන යම් කාර්යයක් අභියෝගයට ලක් කිරීමට 19 වැනි සංශෝධනය හදුන්වා දෙනු ලැබූ මූලික අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමේ බලය අහෝසි කිරීමයි. එම තත්වය කතුවරයා විසින් ලියන ලද පෙර ලිපියේදී රාජ්‍යයේ සියලු බලය ගලා යන බලමූලාශ්‍රය ලෙස නැවත ඉස්මතු වීමට 20වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා උත්සහකිරීමක් ලෙස හදුනාගැණින. තොරතුරු ඉල්ලා සිටීමේදී පොදු අධිකාරී දෙසින් මර්දනකාරී ප්‍රවණතාවක් වර්ධනය වීමට අතිරේකව විධායකය දෙසින් දණ්ඩමුක්ති සංස්කෘතියක් (කිසිදු වගකීමක් හෝ දඬුවමක් නොලබන) වේගයෙන් වර්ධනය වීම ක්‍රියාකාරී ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය භාවිතය (විශේෂයෙන්ම විකල්ප මාධ්‍ය භාවිතාව) බොහෝසෙයින් අධෛර්යය පත්වීමට හේතු විය හැකි බව නිගමනය කෙරිණ. ඒ අනුව 35 වැනි වගන්තිය යනු 1978 මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත නැවත ගමන් කිරීමක් ලෙස හදුනාගත හැකිය- අවසන් නඩු තීන්දුවේදී 35 වැනි වගන්තිය ඉවත් කිරීම මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට සෘජු බලපෑමක් එල්ල වන බැවින් 35 වැනි ව්‍යවස්ථාව 20 වැනි සංශෝධනය යෝජනා කරන ආකාරයෙන්ම එය ඉවත් කිරීමට නම් පාර්ලිමේන්තුවෙ 2/3 ක බලයට අමතරව ජනමත විචාරණයක් තුළින් ජනතාවගේ අනුමැති අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණට නිගමනය කරන ලදී.

ඒ අනුව 20වැනි සංශෝධන කෙටුම්පතින් යෝජනා කර තිබූ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට අදාළ ප්‍රතිපාදන අවසන් නඩු තීන්දුවේදී වඩාත් හිතකර ලෙස වෙනස් කර ඇති බවයි- එහෙත් ජනමාධ්‍ය නිදහසට දුරස්ථ වශයෙන් මෙනම පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට බලපැම් කරන විධිවිධාන මුළුමනින්ම අහෝසිකිරීමේ කරුණේදී 19 වැනි සංශෝධනය ළගා කරදුන් ශක්තිමත් ව්‍යවස්ථානුකූල ප්‍රජාතන්ත්‍රවාදය 20වැනි සංශෝධනය යටතේ තහවුරුවී නොමැති බව පෙනී යයි.

Leave a Reply