ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව නැවත පණගන්වයි

ශ්‍රී ලංකාව වඩා ප්‍රසිද්ධ වී තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වන නමුදු තවත් ක්‍රීඩා කීපයක් රට තුළ සක්‍රියව ක්‍රීඩා කරනු ලැබේ. මෙම තත්වය තුළ ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම තුළ මෑතදී ඇති වූ තත්වය කෙරෙහි අපගේ අවධානය යොමු විය. බොහෝ කණ්ඩායම් ක්‍රීඩා සම්බන්ධයෙන් ගත් කළ වැඩි අවධානය සාමාන්‍යයෙන් යොමු වන්නේ පිරිමි කණ්ඩායම්වලට ය. එසේ තිබියදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඔවුන්ගේ වර්තමාන අවධානය කාන්තා කණ්ඩායම වෙත යොමු කර තිබීම සුවිශේෂ තත්වයකි.

 
කොවිඩ්-19 සම්බන්ධ සීමාකිරීම්වලින් පසුව, නුදුරු අනාගතයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා තරග යළි ආරම්භ වීමට නියමිත ය. කණ්ඩායමට අලුත් මුහුණු එකතු කරමින් ප්‍රාණවත් කර, කණ්ඩායම වෙනුවෙන් අලුත් පුහුණුකරුවකු බඳවා ගැනීමට සම්මේලනය අවධානය යොමු කර තිබේ.

 
මේ සමග ම කාන්තා පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් අලුත් බලාපොරොත්තු ඇති වී තිබේ. ඉදිරි තරගාවලිවලදී නැවුම් කාන්තා කණ්ඩායමක්, අලුත් ප්‍රධාන පුහුණුකරුවකු සමග තරග පිටියට බසිනු දැක ගත හැකි වනු ඇත. බොහෝ සෙයින් සංවර්ධිත කාන්තා ජාතික කණ්ඩායමක් ජාතික හා ජාත්‍යන්තර තරගවලට සූදානම් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා පැවසී ය.
අලුත් පුහුණුකරුගේ සහායෙන් ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාශීලී පෞරුෂයන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද සිල්වා වැඩිදුරටත් පැවසී ය. “අපි දැන් කාන්තා පාපන්දු කණ්ඩායමට පුහුණුකරුවකු බඳවා ගැනීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා. පාපන්දු ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමත් සමග ම, සුදුසුකම් සහිත පුහුණුකරුවන්ට ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම් කිරීමේ අවස්ථාව ලැබෙනවා. කාන්තා කණ්ඩායමේත් ප්‍රධාන පෙළේ වෙනස්කම් සිදු වීමට නියමිතයි. අලුත් ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා වැඩසටහන් ළඟදීම ආරම්භ කරනවා,” යි ඔහු පැවසී ය.

 
ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු කණ්ඩායම් මෑත කාලයේදී උපරිම දක්ෂතා අතරට පැමිණියේ නැත. 2019 වසරේදී පමණක්, හිටපු ප්‍රධාන පුහුණුකරු තිලක් අල්පොන්සු යටතේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම දකුණු ආසියාතික පාපන්දු සම්මේලන (SAFF) තරගවලදී කිසිදු තරගයක් ජයගැනීමට අසමත් විය. දකුණු ආසියානු ක්‍රීඩා (SAG) අතරතුරදී ද මෙම තත්වය දකින්නට ලැබුණු අතර කාන්තා මෙන් ම පිරිමි කණ්ඩායම් ද සිය රට පැමිණියේ හිස් අතිනි.
ශ්‍රී ලාංකික ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගත කිරීම්වලදී ඉතිහාසයේ පහළ ම තත්වයට පත් වූ අතර, 2020 පෙබරවාරි ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ ජාතික පාපන්දු කණ්ඩායම් අතරින් 206වන ස්ථානයට පත් විය.
මෙම අයහපත් පසුබිම තුළ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් කාන්තා කණ්ඩායම ප්‍රාණවත් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම පැසසිය යුතු ය. ඔවුන් මෙම වසරේදී ජයග්‍රහණ කරා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

මුල් ලිපිය:

After resumption: New coach, new faces in Women’s squad

Ceylon Today, April 20th 2020, https://ceylontoday.lk/news/after-resumption-new-coach-new-faces-in-women-s-squad

Leave a Reply