සමාජ බලපෑමක් කළ හැකි ඩ්ජිටල් කතාන්දර

ස්මාර්ට් දුරකතනයක් හෝ කැමරාවක් අතැති ඕනෑම පුද්ගලයෙකුට ස්වේච්ඡාවෙන් තමන්ගේ සමාජ මාධ්‍ය ජාලා ගිණුමක කල හැකි වෙනස්ම ක්‍රියාදාමයක් ලෙස මෙම ඩිජිටල් කතාන්දර හැඳිවිය හැක. ජීවිත අත්දැකීම්, අදහස්, හැඟීම්, විශේෂ සිදුවීම්, අප විසින් සැලකිල්ලට නොගන්නා එහෙත් වෙනස් ලෙස දැකිය හැකි බොහෝ සිදුවීම් ඡායාරූපකරණයෙන්, මේ සඳහා උනන්දුවක් ඕනෑම කෙනෙකුට ඩිජිටල් කතාන්දරකරුවෙකු විය හැක. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිත කරන බොහෝ දෙනා තමන් ලබා ගන්නා ඡායාරූප තම ගිණුම් වල පළ කරත්, නිවැරදි ලෙස එම ඡායාරූපයට විස්තරයක් / කතාන්දරයක් ඇතුළත් කිරීම, හෑෂ් ටැග් බාවිත කිරීම වැනි සුළු වෙනස්කම් කිහිපයක් තුලින් තමන් පල කරනා ඡායාරූපයෙන් වෙනස්ම පණිවුඩයක් සමාජයට ලබා දීම සිදු කල හැක. විශේෂයෙන්ම මෙම කොවිඩ්19 අධිවසංගත සමයේ විවිධ ප්‍රදේශ වල පීඩාවට පත්ව සිටි ප්‍රජාවන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වීම තුළින් විවිධ පිරිස් ඔවුන්ට යම් උපකාර කිරීමට පෙළඹීමද කැපී පෙනෙන සිදුවීමකි. උදාහරණ ලෙස සිග්නල් නොමැති ප්‍රදේශ වල දරුවන් තම මාර්ගගත පන්ති සඳහා නිවසින් බැහැර උස් ස්ථාන වල සිට අධ්‍යයන කටයුතු කිරීම ඡායාරූප ගතකොට එය සමාජ මාධ්‍ය වල පළ කිරීම සඳහන් කල හැක. නිව්‍ යෝක් ටයිම්ස් වෙබ් අඩවියෙහි, ඉන්දුනීසියානු දරුවන් කිහිප දෙනෙකු තමන්ගේ නිවෙස් වලට සිග්නල් සම්බන්ධතාවයන් වලට ඇති ගැටලු නිසා මෙලෙස මහමඟ හෝ රැඳෙමින් තම ඉගෙනීම් කටයුතු කරගෙන යාම පෙන්වා තිබුණේ පහත ආකාරයටයි.

wwewe

මෙය දුටුවිට, මෙයට සමාන සිදුවීම් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වීම අපට නිසැකවම සිහිවන අතර, එය ඩිජිටල් කතාන්දර වල විශේෂත්වයයි. එනම් මෙම ඡායාරූප පළ කිරීමේදී භාවිත කරන හෑෂ් ටැග් නිසා ඔබ ඊට සම්බන්ධ යමක් අන්තර්ජාලය තුල පරීක්ෂා කරන්නේ නම් ඒවා සියල්ල ඔබට එකට මුණ ගැසීමයි.

කෙසේ නමුත් ඩිජිටල් කතාන්දර කීම යනු යමෙකුට උපකාර කිරීම සඳහාම එම පුද්ගලයා සම්බන්ධ ඡායාරූප පළ කිරීම පමණක් නොවේ. දීර්ඝ කාලීනව සමාජය තුළ පවතින මතයක් වෙනස් කිරීමට පවා මෙම ඩිජිටල් කතාන්දරකරණය අපූරුවට භාවිත කල හැක. ජාත්‍යන්තර උදාහරණ සඳහන් කරනවාට වඩා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ උදාහරණයක් සඳහන් කරන්නේ නම්, අප “මුලතිව්” ප්‍රදේශය ගැන සිහිකරන විට, අපට මතක් වන්නේ වර්ෂ ගණනාවක් පුරා එහි පැවති යුද්ධය හා කැඩුණු බිඳුණු නිවාස, දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්, වියළි බව වැනි දෑය. නමුත් ඉන්ස්ටර්ග්‍රෑම් හි #everydaymullaitivu යන ටැගය පරීක්ෂා කර බලන්නේ නම්, මුලතිව් ප්‍රදේශයේ ඇති සුන්දරත්වය, මිනිසුන්ගේ අව්‍යාජ හිනාවන් ආදී නොයෙක් අප නොසිතන හා බලාපොරොත්තු නොවන දර්ශන බලා ගැනීමට අපට හැකියාව ලැබේ. සමහරවිටෙක ඔබ සිතේ මවාගෙන සිටිනා මුලතිව් ප්‍රදේශය ඊට හාත්පසින්ම වෙනස් ප්‍රදේශයක් බව ඔබට සිතෙනු නොඅනුමානය. Everydaymullaitivu ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ, වීදි වෙළෙන්දෙකුගේ ඡායාරූපයක් කුඩා කතාන්දරයක් සමඟ පළකොට තිබුනේ මේ ආකාරයෙනි.

rrrr

තවත් උදාහරණයක් ලෙස, අපට සෝමාලියාව සම්බන්ධයෙන් අපට එකවර මතකයට එන්නේ එම රටෙහි දරිද්‍රතාවය, මිනිසුන්ගේ අසරණකම, කර්කස භාවය වැනි චිත්තරූප සහ සිතුවිලිය. එයට හේතුව නම්, කාලාන්තරයක් පුරා අප සෝමාලියාව නම් රට සම්බන්ධයෙන් අසා ඇති විවිධ කතාන්දරයි. “සෝමාලියාවට පාන් ලැබුණා වගේ” යැයි අප බොහෝ බඩගින්නේ සිට කෑමක් කන විට ප්‍රකාශ කරනු ලබයි. එනම් අපට හැඟෙනුයේ සෝමාලියාවේ මිනිසුන් ඉතා බඩගින්නේ සිටින බව, මන්දපෝෂණයෙන් පෙළෙණබව නොවෙද! නමුත් #everydaysomaliya ඉන්ස්ටර්ග්‍රෑම් පිටුව හෝ එම හෑෂ් ටැගය පරීක්ෂා කරන්නේ නම් ඊට වඩා වෙනස් යමක්, යම් විවිධත්වයක් සෝමාලියාව නම් රටේ අපිට දැක ගත හැකි බවයි. පහත ඇත්තේ එම ටැගය භාවිත කර පළ කර ඇති ඡායාරූපයක් වන අතර සැබවින්ම අප සිතින් මවනා සෝමාලියාවට වඩා වෙනස්ම කතාවක් එහි ඇත.

yyyy

කාලාන්තරක් සිට අප නරඹන රූපවාහිනී නාලිකා හෝ සිනමාපට වල ඒ ඒ ප්‍රදේශ, ජන කොට්ටාශ, පරිසරය වැනි දේවල් වල ඒකාකෘති දසුන් නිසා අප සිතන්නේ හා විශ්වාස කරන්නේ හෝ මවාගන්නේ එම වැඩසටහන හෝ සිනමා කෘතියේ නිර්මාණය කරන්නා එම පරිසරය දකින ඇසිනි. හැරත් අප එම ප්‍රදේශ හෝ රටවල් වලට සංචාරය නොකරනතාක් අපට ඒ පරිසරයන් තමාට අනන්‍යය වූ අවබෝධයක් ලබා ගැනීම පහසු නැත. එනිසා යම් සමාජයක් තුළ ඊට හාත්පසින්ම වෙනස් තවත් සමාජයක් ගැන පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කිරීමට ඩිජිටල් කතාන්දරකරණය යනු කදිම මෙවලමකි. ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවට ඩිජිටල් කතාන්දර සංකල්පය හඳුන්වා දුන් “Digital storytelling” සංවිධානයේ නිර්මාතෘ බෙනිලෝස් තුෂාණ් මහතා විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව විසින් ඔවුන්ගේ 75 වන සංවත්සරය සඳහා සංවිධානය කරන ලද “අපගේ අනාගතය හැඩ ගස්වාගැනීම“ යන වැඩසටහනේදී ඩිජිටල් පුරවැසිභාවය, තාරුණ්‍යය සහ බහුපාර්ෂවිකවාදය යන මාතෘකාව යටතේ පුරවැසි පුවත්පත් කලාවේ සහ ඩිජිටල් සාක්ෂරතාවයේ කුසලතාවයන්ගෙන් තරුණ තරුණියන් සවිබල ගැන්වීමේන් ඔවුන්ගේම ක්‍රමවේදයන් වලට ඔවුන්ගේ ප්‍රජාවන්ගේ වෙනදා දකින ඒකාකෘති කතාන්දර වලට වඩා වෙනස් යමක් මේ හරහා කල හැකි බවයි. තවදුරටත් 2020 ජාත්‍යන්තර ස්වේච්ඡා දිනයේදී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාව විසින් සංවිධානය කර තිබූ කොවිඩ්19 වසංගතයේදී ඩිජිටල් කතාන්දරකරණය වෙබිනාර් වැඩසටහනේදී ඔහු සඳහන් කර සිටියේ, මෙම වසංගතය නිසා රටේ සාමය සංහිඳියාව යම් හානියක් සිදුවන්නේ එවන් මොහොතක පවා ඩිජිටල් කතාන්දර භාවිතයෙන් සමාජ බලපෑමකට හෝ වෙනසකට යා හැකි බවයි. එනම් මෙම වසංගත කාලයේ බොහෝ පිරිස් සමාජ මාධ්‍ය ජාලා භාවිතයට වැඩිපුර නැඹුරු වී සිටින අතර, රටේ සිදුවන විවිධ ආකාරයේ සිදුවීම් නිසා වක්‍රාකාරව පැතිරයන ජාතිවාදී හා ආගම්වාදී අදහස්, විවිධ මිත්‍යා මත මෙන්ම වෛරී භාෂණයට පවා එදිරිව ඩිජිටල් කතාන්දර කීමෙන් ඒවා වළක්වාගත හැකි බවයි. තුෂාණ් මහතා විසින් තවදුරටත් උදාහරණයක් ලෙස එහිදී දක්වා සිටියේ, පසුගිය අවුරුද්දේ සිදුවූ පාස්කුදින ප්‍රහාරයට පෙර ඔහු විසින් ලබා ගන්නා ලද ඡායාරූපයක් හා එහි පසුබිම් කතාන්දරයයි.

uuuu

(https://www.instagram.com/p/ByXXrLwhPtN/?igshid=1119jykrd3qqp)

විවිධත්වය යනු අපේ රටට ඇති ආභරණයකි. මෙම විවිධත්වය රටේ සාමය හා සංහිඳියාව, සංවර්ධනය, ආරක්ෂාව ආදී නොයෙක් ක්ෂේත්‍ර වල උන්නතියට භාවිත කරන්නට නම් ජනතාවට මෙම ජාතීන් අතර විවිධත්වය පෙන්විය යුතුය, ඔවුන්ට එය හැඟවිය යුතුය. ඒ සඳහා වූවත් ඉහත බැලූන් වෙළෙන්දාගේ ඡායාරූපය හා එහි කතාන්දරයේ ආදර්ශය මෙන් ඩිජිටල් කතාන්දර තුළින් මේවා සමාජ ගත කල හැක.

මේ ආකාරයෙන් අප සමාජ මාධ්‍ය හ අන්තර්ජාලය තුල පල කරන සෑම ඡායාරූපයක්ම පසු පස, එයටම අනන්‍යයවූ කතාන්දරයක් ඇත. බොහෝ විට එම කතාන්දරය දන්නේ ඡායාරූපය ගන්නා පුද්ගලයා හෝ සමහරවිටෙක ඡායාරූපයේ සිටින පුද්ගලයා/පුද්ගලයින් පමණි. ඩිජිටල් කතාන්දර කීමේදි ඡායාරූප සමඟ එහි පසුබිම් කතාන්දරය හෝ ඊට සමගාමී වූ කතාන්දරය පළ කිරීම හා ඊට ගැලපෙන හෑෂ් ටැග් බාවිත කිරීම නිසා එය පරීක්ෂා කරන පුද්ගලයාට එහි පසුබිම් කතාන්දරය ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලැබේ. එනම් ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනෙනුයේ ඩිජිටල් කතාන්දර සංකල්පය භාවිත කර සැබවින්ම සමාජ වෙනසක් සිදු කල හැකි බවයි. මන්ද මින් තනි පුද්ගලයාගේ දෘෂ්ටි කෝණයට සෘජුවම බලපෑම් කිරිමට හැකි වීම වන අතර එම කාර්‍ය වඩා සුබදායී හා ධනාත්මක ලෙස කිරීමේ ප්‍රභල හැකියාවක් ඩිජිටල් කතාන්දර වලට ඇත.

 

Leave a Reply