සමාජ මාධ්‍ය පාලනය ද? නියාමනය ද? ආචාර ධර්මීය ප‍්‍රවේශය ද?

 

හිතුවක්කාර සමාජ ජාල මාධ්‍ය භාවිතය වලක්වාලනු පිණිස සමාජ මාධ්‍ය නියාමනය බලවත් අවියක් ලෙස පෙරට ගෙන ආ යුතු බවට සිදු කෙරෙන බලපෑම් හා හඬ නැඟීම් අද සිරිලක දස අතින් ඉස්මතු වෙයි. ප‍්‍රායෝගිකව ගත් කල ගෝලීය හිමිකාරිත්වයකින් හා සිවිල් බලයකින් සමන්විත සමාජ ජාල මාධ්‍ය වේදිකා වෙත බලපෑම් කිරීමෙහි ලා හෝ ඔවුන් සමඟ කේවෙල් කිරීමකට යාමෙහි ලා අප සතු ඌණ හැකියාව ඒ සඳහා කෙතෙක් දුරට ප‍්‍රතිපලදායී වේදැයි විමසුව මනා ය. මේ පසුබිම හමුවේ ශ‍්‍රී ලංකාව වැනි රටවල සමාජ මාධ්‍ය පාලනය හෝ යම් නියාමනයකට යටත් කිරීම හෝ සමාජ ජාල මාධ්‍යවල අයහපත් සමාජ බලපෑම නවතා දැමීමට යොදා ගත හැකි අවසන් විසඳුම ලෙස ඇදහීම මහත් අනුවණ කමකි. ඒ සමාජ මාධ්‍ය පාලනය හෝ නියාමනය හරහා සත්‍ය ලෙස ම අත් කර ගත හැකි ප‍්‍රතිපල ඉතා සීමිත හෙයිනි.

සමාජ මාධ්‍ය පාලනය හෝ යම් නියාමනයකට යටත් කිරීම වෙනුවට එහි අයහපත් ප‍්‍රතිපල සීමා කිරීමට හෝ උගුළුවා ලන්නට සමාජ මාධ්‍ය පිළිබඳ ‘ආචාර ධර්මීය ප‍්‍රවේශයක් ගැනීම වඩා සාර්ථක විය හැකි’ යැයි සමාජ ජාල විශ්ලේෂකයන් නිර්දේශ කරන්නේ එහෙයිනි.  ‘ආචාර ධර්මීය ප‍්‍රවේශය  යනු එක් වර්ගයක හෝ ආගමික කුලකයක හෝ මතවාද රටේ සියලූ ජනකොටස් මත බලෙන් මුදා හැරීම නොවන’ බව ද ඔවුහු පෙන්වා දෙති. අවශ්‍ය වන්නේ සමාජ ජාල මාධ්‍ය පාලනයට හෝ යම් නියාමනයකට යටත් කිරීම හෝ වාරණයට යොමුවීම වෙනුවට සමාජ මාධ්‍ය ජාල සමාජ යහපත උදෙසා යොදා ගැනීමේ මං පෙත් (Social Media for Social Good) පාදා ගැනීම ය. මේ සඳහා ශ‍්‍රී ලාංකීය සමාජය යහපත් ආකල්පමය, චර්යාමය හා වගකීම් සහගත ආකල්පවලින් පණ පෙවීම අත්‍යවශ්‍ය කරුණකි.

වගකීම් සහගත සමාජ මාධ්‍ය පරිහරණය උදෙසා සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන කේවල චරිතවල සිට සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන මහා පරිමාණ මාධ්‍ය සමාගම් දක්වා වන සමාජ කේඩර සමාජ මාධ්‍ය ජාල සමාජ යහපත උදෙසා යොදා ගැනීමේ ක්‍රියාවලිය වෙත අවශෝෂණය කර ගැනීම මේ තත්ත්වය හමුවේ අප ඉදිරියේ ඇති හොඳ ම විකල්පයයි. එය අප ඉහත සංවාද ගත කළ වුවමනා සපුරා ගන්නට පිරිමහින ප‍්‍රතිපලදායක ම මඟ ලෙස සභා සම්මත කර ගැනීම වටින්නේ ද මේ නිසා ය. සමාජ වගකීමක් සහිත සමාජ ජාලා මාධ්‍ය පරිශීලකයකු සමාජයට දායාද කිරීමේ වගකීම ද භාරදූර ලෙස අප හමුවේ දිස් වන්නේ එය එක්තරා ආකාර ‘උඩු ගං බලා පිහිනීමේ’ කටයුත්තක් ම වන හෙයිනි. ‘මෙම වගකීම සාර්ථකව ඉටු කර ගැනීම සඳහා වන සමාජ, දේශපාලන, සංස්කෘතික, ආගමික, තාක්ෂණික මෙන්ම ඊට ම ආවේණික අභියෝග හදුනාගැනීමටත්, සමාජ මාධ්‍ය භාවිතය වෙනුවෙන් වන අන්තර්ජාල සාක්ෂරතාව දියුණු කරගැනීමත්’ ඒ හා අදාළ තෘණ මූල මට්ටමේ සිට සපුරා ගත යුතු අවශ්‍යතා බව විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සමාජ ගත කළ ‘වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා වන මඟපෙන්වීම් මාලාව – සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය කොළඹ 2019’ අවධාරණය කරයි.

ශ‍්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණ ක‍්‍රමවේද සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා යැයි පවසමින් සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතක් (Cyber Security Bill)  ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය  මේ වන විට ඉදිරිපත් කර තිබේ.

අන්තර් ජාලය මත පදනම් වන විවිධ අවකාශ ඔස්සේ අදහස් පළ කිරීමේ නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් සීමා කිරීම ඉලක්ක කර ගනිමින් නීතිමය හෝ වෙන යම් ආකාරවලින් දරන පරිශ‍්‍රමවලට විකල්පයක් ලෙස ඉදිරිපත් කෙරුණු සාධනීය ප‍්‍රකාශනයක් ලෙස ‘සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය – කොළඹ 2019’ අප දකින්නේ එහි සඳහන් වන අන්දමට ම එය ‘ බහුවිධ මත හා අදහස්වලට ගරු කරමින්, ප‍්‍රබල සංවාදයක නිරත වීම දිරි ගන්වමින්, සමාජ මාධ්‍ය වේදිකා තුළ හිතකර සංවාද අවකාශයක් ප‍්‍රවර්ධනය කිරීමට හා තහවුරු කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ට සහාය දක්වන වේදිකාවක් ’ ගොඩනැඟීමේ බාරදූර කටයුත්තට මුල්ගල තබා ඇති හෙයිනි.

ආචාරධර්මීය හා වගකීම් සහගත මාධ්‍යය භාවිතය සමාජ ගත කරන මෙවලමක් ලෙස ක‍්‍රියාත්මක වීම වත්මන් ශ‍්‍රී ලාංකීය ඇතැම් ප‍්‍රධාන ධාරාවේ මුද්‍රිත, විද්‍යුත් මෙන් ම අන්තර්ජාලය පදනම් ව ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය පවා අමතක කර ඇති සමයක, සිය ආකෘතිය මඟින් ම ඉඩ විවර කර දෙන ප‍්‍රකාශනයෙහි නිදහස ඉක්ම වූ නිදහසක් භුක්තිවිඳීමට ඉඩ සැලසී ඇති සමාජ මාධ්‍ය ජාල වෙතින් ආචාරධර්මීය හා වගකීම් සහගත මාධ්‍යය භාවිතයක් ඉල්ලා සිටීම එක්තරා අන්දමක හාස්‍යය දනවන්නකි. සමාජ මාධ්‍ය ජාලයනට ආවේණික ගුණාංග හා සැකැස්ම විසින් ලබාදෙන එම විවෘතභාවය, අදහස් පළ කිරීමේ නිදහස ඇතුළුව මානව අයිතිවාසිකම් තහවුරු කරන හා ආරක්ෂා කරන වාතාවරණයක් නිර්මාණය කර දෙන අවකාශයක් ලෙස භාවිතයේ යොදා ගැනීම සමාජ මාධ්‍ය ජාලවල ආචාරධර්මීය හා වගකීම් සහගත භාවිතය තහවුරු කිරීමට සුදුසු ම මඟකි. එය වත්මන් සමාජ ජාල මාධ්‍යයේ වගකීම්සහගත පරිහරණය පිළිබඳ පූර්වාදර්ශයක් ද සපයනු නිරනුමාන ය.  එය එක්තරා අන්දමකින් ‘ආණ්ඩු සහ සමාජ මාධ්‍ය සමාගම් ඇතුළු වෙනත් අධිකාරීන්, සමාජ මාධ්‍ය අයථා භාවිතයේ යොදවන්නේ යැයි යන තර්කය ගෙන හැර පාමින් සමාජ මාධ්‍ය ජාලවල අදහස් හුවමාරුව පාලනය කිරීම සඳහා දරන දැඩි උත්සාහය පරදවාලිය හැකි අවියක් ද වනු ඇත.

අසත්‍ය, ජනතාව මුළා කරන මෙන් ම ව්‍යාජ හා රැවටිලිකාර තොරතුරු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය සිදු කෙරෙන යම් ආකාර වූ සංකීර්ණ ස්වභාවයක් උසුලන මෙම සමාජ ප‍්‍රශ්නය නීති පැනවීමෙන් හෝ නියාමනයට ලක් කිරීමෙන් පමණක් පිළිතුරු ලබා ගත හැක්ක් නොවේ. අප පෙර ද සඳහන් කළ පරිදි වත්මන් ශ‍්‍රී ලාංකීය ඇතැම් ප‍්‍රධාන ධාරාවේ මුද්‍රිත, විද්‍යුත් මෙන් ම අන්තර්ජාලය පදනම් ව ක‍්‍රියාත්මක වන ජනමාධ්‍ය පවා සිය ආචාරධාර්මික ගත පැවතුම් අමතක කර ‘රේටිංග්ස්’ පස්සේ දිව යන ආකාරයේ ජනමාධ්‍ය කලාවක් ප‍්‍රචලිත වත්මන් යුගයේ ව්‍යාජ පුවත් සංසරණය හා වගකීම් සහගත බවින් දුරස් වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලට පමණක් දොස් නැඟීම ගැටලූව නිසි පරිදි හඳුනා ගැනීමක් නොවේ. නොයෙකුත් දුර්මත හා අසත්‍ය හා පාර්ශවීය තොරතුරු, ප‍්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ඔස්සේ ද නිරතුරුව සංසරණය වනු දැකීම අපට අමුතු අත්දැකීමක් නොවේ.

‘සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය – කොළඹ 2019’ පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ජාලයනට භූගෝලීය සීමා මායිම් අතික‍්‍රමණය කරන බැවින් සමාජ මාධ්‍ය පරිශීලකයන්ට නිරන්තරයෙන් තම රටෙහි හෝ එහි දේශපාලන සන්දර්භය මඟින් සම්පාදන කරන ප‍්‍රකාශනයෙහි නිදහස ඉක්ම වූ නිදහසක් භුක්තිවිදීමට හෝ අත්පත් කරගැනීමට ඉඩකඩ සැලසෙන බව ය.

‘සමාජ මාධ්‍යයට ආවේණික ගුණාංග හා සැකැස්ම විසින් ලබාදෙන එකී විවෘතභාවය ධනාත්මක සහ ඍණාත්මක වේ. ඇතැම් පරිශීලකයෝ තමන් ප‍්‍රකාශ කරන අදහස්, වගකීම් සහගත ප‍්‍රගතිශීලී හා ගෞරවනීය ආකාරයෙන් ඉදිරිපත් කරති. සෙසු පරිශීලකයෝ එසේ නොකරති.’ මේ ඒ පිළිබඳ තවදුරටත් විග‍්‍රහ කරන ‘සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය – කොළඹ 2019’ විවරණයයි.

මහාචාර්ය රොහාන් සමරජීව මේ හා සමාන ම අදහසක් පළ කරයි. ඔහු පෙන්වා දෙන්නේ පරිශීලකයන් ජනනය කරන මාධ්‍ය තුළ වන අන්තර්ගතය පාලනය කිරීමට පවතින්නේ ඉතා සුළු ඉඩකඩක් බව යි. ‘ඔබ අන්තර්ජාල ගත කරන්නේ කරන්නේ ඔබේ කැමැත්තයි. එය සුදුසු ද? නැද්ද? යි කිසිවකු නොකියයි.’ යැයි ඔහු පෙන්වා දෙයි. එසේවීනම් පරිශීලකයන් ජනනය කරන මාධ්‍ය තුළ වන අන්තර්ගතයේ ගුණාත්මක බව වර්ධනය කළ හැකි ප‍්‍රතිපලදායී හා සාර්ථක ක‍්‍රියාදාමය වන්නේ වගකීම් සහගත සමාජ මාධ්‍ය පරිහරණය උදෙසා සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන කේවල චරිතවල සිට සමාජ ජාල මාධ්‍ය භාවිතයේ යෙදෙන මහා පරිමාණ මාධ්‍ය සමාගම් දක්වා වන සමාජ කේඩර සමාජ මාධ්‍ය ජාල සමාජ යහපත උදෙසා යොදා ගැනීමේ ක‍්‍රියාවලිය වෙත අවශෝෂණය කර ගැනීමයි. එසේ නොමැතිව සමාජ මාධ්‍ය පාලනය හෝ යම් නියාමනයකට යටත් කිරීම හෝ නොවේ.

ආශ‍්‍රිත ලේඛන:

  1. ‘වගකීම් සහගත සමාජ මාධ්‍යය භාවිතාවක් සඳහා වන මගපෙන්වීම් මාලාව – සමාජ මාධ්‍ය ප‍්‍රකාශනය කොළඹ 2019’, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය
  2. සමාජ මාධ්‍ය නියාමනය කළ හැකිද? කළ යුතුද?, රාවය, අගොස්තු 06, 2017

-මෙත්ලාල් වීරසූරිය

 

Leave a Reply