ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ක්‍රියාකාරී දින 16 සඳහා සමාජ මාධ්‍යට කල හැකි බලපෑම

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ක්‍රියාකාරී දින 16 යනු කාන්තාවන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම හා එම හිංසන ලොවෙන් තුරන් කිරීම වෙනුවෙන් නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 10 වන දින තෙක් ලොව පුරා විවිධ කාන්තා ක්‍රියාකාරීන්, කාන්තාවන්ගේ අයිතීන් පිළිබඳ කතා කරන සංවිධාන වැනි විවිධ පාර්ෂවයන් විසින් සිදුකරන උද්දේශන ව්‍යාපාරයකි. කාන්තාවන්ට සිදුවන ගෘහස්ථ හිංසනය, අඩු වයස් විවාහ, අඩු වයස් ගැබ් ගැනීම්, ලිංගික අපචාර හා අපයෝජයන ආදී නොයෙක් ආකාරයේ හිංසන,  වැළැකීම හා නීති සැකසීම සදහා වන ක්‍රියාමාර්ග ගැනීම මෙමගින් සිදු වේ. මෙම ව්‍යාපාරය සෑම වර්ෂයකම සිදුවුණත් මෙම වර්ෂයේ ඇති විශේෂත්වය නම් පවතින කොවිඩ්19 අධිවසංගතය හමුවේ ලංකාව ඇතුළුව ලෝකයේ බොහෝ රටවල් වල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන, විශේෂයෙන්ම ගෘහස්ථ හිංසන වල යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමයි.

කොවිඩ්19 පළමු රැල්ල ව්‍යාප්තව වුණු සමයේදී ජනතාවගේ ඉතා ප්‍රසිද්ධියට පත් හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා විසින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබූ කොරෝනා වෛරස් උවදුරත් සමඟ නිවෙස් තුළ කොටුව සිටින අතරවාරයේ පහර කෑමට ලක්ව රෝහල් කරා එන පුද්ගල සංඛ්‍යාවේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් එහිදී පහර කෑමට ලක් වූ කාන්තාවන්ට පහර දී තිබුණේ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් විසින් බවත්ය. එලෙසම මෑතකදී රාජ්‍ය ආයතනයක පවා කාන්තා හිංසනයක් වාර්තා වීම දැක ගැනීමට හැකි විය. එපමණක් නොව ආගමික ස්ථානයක් ඉදිරිපිට පුද්ගලයෙකු කුඩා දැරියකට තම ලිංගික අවයව පෙන්වීමට උත්සාහ කිරීමට යාමේ සිදුවීමක් පවා දැක ගැනීමට හැකි විය. සැබවින්ම අප මෙවැනි ප්‍රවෘත්ති හා සිදුවීම් නිතර දකින්නේ ඒවා මාධ්‍ය තුළ ඉතා ඉක්මණින් ව්‍යාප්ත වන නිසාවෙනි. නැතහොත් පෙර කාලයේදී මෙවැනි සිදුවීම් සිදු නොවුනාය හා වර්තමානය වන විට මෙවැනි සිදුවීම් වැඩි වී ඇතැයි යන්නක් නොවේ. ජනතාවගේ සමාජ මාධ්‍යය භාවිතය ඉහළ යාමත්, මෙවැනි දර්ශන පටිගත කිරීමට තරම් ඔවුන් තුළ පවතින ක්ෂණික සිතුවිල්ලත් හා පැකිළීමකින් තොරව මේවා සමාජ මාධ්‍ය ගත කිරීමට ඔවුන් පෙළඹෙන නිසාවෙනි.

එසේ නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් හට එදිරිව හඬක් නැගීමට සමාජ මාධ්‍ය ඉතා විශාල මෙහෙයක් සිදු කරයි. විශේෂයෙන්ම මෙවැනි හිංසන සම්බන්ධයෙන් සමාජ කතිකාවත් පවා නිර්මාණය කිරීමට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයක් සම්බන්ධ එක් ප්‍රභල පළකිරීමක් පවා ප්‍රමාණවත් ය. එලෙසම මෙම හිංසනයන් වලට එරෙහිව විවිධ සමාජ ක්‍රියාකාරීන් විසින් ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාලා වල පළ කරන ලිපි හා සිදු කරන සාකච්ඡාවන් පවා එම සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් හට ලබා දෙන දැනුම අති මහත්ය. විශේෂයෙන්ම සනීපාරක්ෂ තුවා බද්ධ සම්බන්ධයෙන් බොහෝ දෙනා තම මතිමතාන්තර තම ගිණුම් වල පලකර තිබෙන අතර එම ලිපි අධ්‍යයනය කරන්නේ නම් පෙනෙනුයේ මේ විෂය වෙනත්ම මාවතකට විහිදී ගොස් ඇති බවයි. මන්ද සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන් මෙන්ම මෙම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයද සමාජයේ කතා නොකරන තහනම් මාතෘකාය. එමෙන්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියා කරන විවිධ සංවිධාන වලින්ද සමාජ මාධ්‍ය හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ක්‍රියාකාරී දින 16 වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හරහා සිදුකෙරෙන වෙබිනාර් වැඩසටහන් මාලාව හා ශ්‍රී ලංකා තරුණ උපදේශන ජාලය විසින් සංවිධානය කර තිබෙන ප්‍රශ්නාවලි වැඩසටහනද මේ දින වල සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙයි. 

image2                                              image1

මෙවැනි වැඩසටහන් හරහා සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයන්ට නව දැනුමක් ලබා ගත හැකි සේම, තමන්ට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් සිදුවෙනවා නම් ඊට එදිරිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවබෝධයක්ද ඔවුන්ට ලැබේ. සැබවින්ම මෙම විෂය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ කතා බහ මෙතරම් දුරට වැඩිවීමක් පෙන්නුම් කරන්නේ පවතින වසංගත සමය නිසා පරිශීලකයින්ගේ ප්‍රමාණය වැඩි වූ නිසා වූවත් කොවිඩ්19 වසංගතය අඩු වී ජනජීවිතය සාමාන්‍ය අතටපත් වූවිට යම් පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ හිංසනයක් සිදුවෙනවා නම් ඔහුට හෝ ඇයට එයට විරුධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන අවබෝධයක් පවතින්නේය. සැබවින්ම මෙවැනි කාරණා වලදී සමාජ මාධ්‍ය ජාලා වලට සැලකිය යුතු කාර්‍ය භාරයක් ඉටු කලහැකි වූවද මෙහි විරුද්ධ දෙයද එනම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ව්‍යාප්ත කිරීමේ හැකියාවද සමාජ මාධ්‍ය වලට පවතී. ශාරීරික හා මානසික හිංසන පිළිබඳ මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සයිබර් හිංසන ගැන ද සමාජ මාධ්‍ය හරහා විශාල කතිකාවත් ඇති කල හැක. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ක්‍රියාකාරී වීමට දින 16ක් පමණක් නොව මුළු වර්ෂය පුරාම වුවත් මෙම හිංසන සඳහා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට කතිකාවත් ගොඩනගන්නට හැකි නම් එය ඉතා අගනේය. 

Leave a Reply