සිද්ධීන් දෙකක් ! කාන්තාවන් තවදුරටත් සමාජ මාධ්‍යයේ රැඳී සිටී ද? නැතහොත් අතහරී ද?

පවුලට, සැමියාට හෝ පියාට විරුද්ධවන කාන්තාවන්ට එරෙහිව නින්දා සහගත හෝ නොගැලපෙන භාෂා භාවිතය සඳහා, පොදුතැනක් බවට අද වනවිට සමාජ මාධ්‍ය පත්ව ඇත. එවැනි කාන්තාවන්ට එරෙහිව යොදාගන්නා ආයුධයක් වශයෙන්, ඔවුන්ව ප්‍රසිද්ධියේ ලිංගික හිංසනයට ලක්කිරීම සළකනු ලබ යි. එපමණක් නොව, සමස්ත පවුලට එරෙහිව කටයුතු කිරීමට ඔවුන්ව ආයුධයක් වශයෙන් යොදාගන්නා අතරම, ඇතැම්විට සුවිශේෂී වර්ගයකට හෝ ප්‍රජාවකට එරෙහි ආයුධයක් වශයෙන් මෙන්ම, එය ඍජු ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් ද ඇති කරවන්නකි. මෙහි, මනෝවිද්‍යාත්මක බලපෑමක් ද පවතී.

මේ දැක්වෙන්නේ ලංකාව තුළ මෑත කාලීනව සිදු වූ සිද්ධීන් දෙකක්:

සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන කාන්තාවකට අවමන්වන ආකාරයේ අදහසක් (post) යම් පුද්ගලයෙක් විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ පළකර තිබීම.

‘දියණිය දුෂණය කරන බව’ දැක්වෙන පියාට තර්ජනය කරන ආකාරයේ අදහසක් (post) එක් පුද්ගලයෙක් විසින් ට්විටර් හි පළකර තිබීම.

පළමු ගැටළුව ලංකාවට අදාළ වේ. දෙවැන්න ඉන්දියාවට අදාළ වේ. මෙම සිද්ධීන් දෙකේදී ම පිළිකුල් සහගත, නින්දා සහගත වචන ලාංකීය ජනයා විසින් මෙම කාන්තාවන්ට එරෙහිව භාවිතකර තිබුණි.

පළමු සිද්ධිය – පීඩිත ජනයා උදෙසා හඬක් නැංවීමට කටයුතු කළ කාන්තාවන්ගේ විමුක්ති සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන, වාමාංශික අදහස් දරණ කාන්තාවක් මෙම සිද්ධියට සම්බන්ධ වේ. ඊ.වී. රාමසාමි (පෙරියර් – දකුණු ඉන්දියානු තාර්කික චින්තකයෙක්) පිළිබඳ මතයක් සඳහා ඇය අදහස් පළකර තිබේ. මේ සඳහා පිළිතුරු වශයෙන්, වව්නියා ප්‍රදේශයේ ග්‍රාම සේවකයෙක් ඉතා පිළිකුල් සහගත වචන යොදාගනිමින් මෙම කාන්තාවට එරෙහිව අදහස් පළකරමින් පවසා සිටියේ, ‘පෙරියර් ජීවත්ව සිටියා නම්, ඇය පෙරියර්වත් ‘තබාගනිවි’යනුවෙනි. එසේම, ඔහු ස්ත්‍රීවාදීන්ට ඉතා පිළිකුල් සහගත වචන භාවිතා කරමින් දෝෂාරෝපණය කර තිබේ. මෙවැනි අදහස් විවේචනයට ලක්කිරීමේ දී, ස්ත්‍රීවාදය ප්‍රසිද්ධියේ කතාකරන කාන්තාවන්ට එරෙහිව ඔහු තව තවත් නින්දා සහගත වචන භාවිතා කරමින් අදහස් පළකර තිබුණි. ඔහුගේ අදහස්වලට අනුව, සියළු කාන්තාවන් පුරුෂයන්ගේ ලිංගික වහලුන් වේ. ප්‍රශ්න ඇතිකළ පුද්ගලයා, තම අනන්‍යතාවය නොසැගවී ය. ඔහුගේ මුහුණු පොතේ, ඔහු උපන් ගම, වැඩකරන ස්ථානය හා ඔහුගේ පින්තූරයක් ද ආදී සියළු විස්තර පැහැදිලිව දක්වා තිබේ. ඔහුගේ මෙම සංවාදය ප්‍රසිද්ධියට පත් වූ පසු, ව්‍යාජ ගිණුම් සෑදීමට පටන්ගත් අතර, ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන්ට නින්දා-අපහාස කිරීමට පටන් ගත්තේ ය. මෙම ව්‍යාජ ගිණුම් නිර්මාණය කර තිබුනේ ද, කාන්තාවන් හා සම්බන්ධ අපහාසාත්මක වචන භාවිතා කරමිනි.

කාන්තා ක්‍රියාකාරිනිය, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහාවන ලිපියක් අදාළ කාර්යාලයට යව යි. “ප්‍රශ්නයක් නෑ ඔයා මොනවා කළත්, ඔයාට මුකුත් කරන්න බෑ මට” යනුවෙන් ඔහු ප්‍රසිද්ධියේ ඔට්ටු ඇල්ලී ය. සමාජ ක්‍රියාකාරිනිය, ඔහුගේ අදහස් දැක්වෙන තිර රූප (screenshots) තම පිටුවේ පළකරමින් සමාජයේ අනෙක් සාමාජිකයන්ට ද, මෙවන් හැසිරීම් ප්‍රශ්නකිරීමට අවශ්‍ය ඉඩකඩ සලසා දී ඇත. මේනිසා, අදාළ පුද්ගලයා මුහුණුපොතට පැමිණිලි කර කාන්තා ක්‍රියාකාරිනියගේ ගිණුම දින ගණනක් අවහිරකිරීමට ක්‍රියාකර යි. බොහෝ කාන්තාවන්, මේ පිළිබඳව ඔවුන්ගේ පිටු තුළ සාකච්චාවට බඳුන් කළහ. මේ පිළිබඳව සංවාදයන් පළකිරීම නොකඩවා සිදුකළහ. ඔවුන් සමාජ මාධ්‍ය තුළ කතාකිරීමට අවකාශ සකසාගනිමින් ‘කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය’ යනුවෙන් මාතෘකාවක් සකස් කරගත්හ.

මෙයට සම්බන්ධ පුද්ගලයා, කාන්තාවන්ට එරෙහිව අවමන් සහගත වචන සමඟ හාස්‍ය උපදවන සුළු අදහස් නොකඩවා පළකර යි. ක්‍රමයෙන්, අනෙකුත් පිරිමි පුද්ගලයන් ද ඔහුට එක්වෙමින් අදාළ කාන්තා ක්‍රියාකාරිනිය පිළිබඳ නින්දා සහගත අදහස් පළකර යි. මේහරහා, ඔහු පිරිමි පුද්ගලයෙකු වශයෙන් පවතින බලය හුවා දක්ව යි. මෙය සිදු වී මාස දෙකක් ගතවුව ද, කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් පියවරක් නොගත්හ. ඒ අනුව, කාන්තා ක්‍රියාකාරිනිය මේවනවිට ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර යි.

කාන්තාවකට එරෙහිව මෙසේ ප්‍රසිද්ධියේ නින්දා කිරීම හෝ අපකීර්තියට ලක්කිරීම, මෙම පුද්ගලයන් දෙදෙනාට පමණක් අදාළ නොවේ. මෙම ගැටළුව දෙස අප බැලියයුත්තේ සමාජීය, සංස්කෘතික, නීතිමය, දේශපාලන, ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය, ආගමික, තාක්ෂණික ආදී විවිධ කෝණයන් ඔස්සේ ය. ඔබ ඒ පිළිබඳව ඉහත අයුරින් පමණක් දකින්නේ නම්, විවිධ දේවල් අනාවරණය වනු ඇත.

  • සමාජයේ පවතින ස්ත්‍රී-පුරුෂ අසමානතාවය.
  • මූලික මානව අයිතිවාසිකමක්වන කාන්තාවන්ගේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහසට පවතින තැන.
  • සමාජ මාධ්‍ය භාවිතයේ දී කාන්තාවන් සඳහා පවතින නීතිමය සහ සමාජ අනාරක්ෂාව.
  • කාන්තාවන්ට අවමන් කිරීමට, පුරුෂයෙකුගේ අනන්‍යතාවය ප්‍රමාණවත්ය යන ආගමික සහ සංස්කෘතික ආකල්පය.
  • කාන්තාවක් ප්‍රසිද්ධියේ අවමානයට ලක්වීම එතරම් ලොකු දෙයක් නොවන බවට පවතින සමාජ මතවාදය.
  • ඕනෑම කාන්තාවක් මත ඇතිකරනු ලබන පිතෘමූලික අදහස් මඟින්, කාන්තාවකට යම් අධ්‍යාපනික පසුබිමක් පැවතිය ද, ඇයගේ සදාචාරය විවේචනයට ලක්කරමින් ඇයව 0 මට්ටම දක්වා පසුබැස්සවීමට හැකියාවක් පවතින බව.
  • ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන්ගෙන් කාන්තාවන් ආන්තිකරණයට ලක්කිරීම.
  • සන්නිවේදනයේ නවීන ස්වරූපය මත පදනම්ව ආන්තිකරණයට ලක්කිරිම.
  • විනෝදාස්වාදය සඳහා ලිංගිකත්වය පදනම් කරගනිමින් කාන්තාවන් විවේචනයට ලක්කිරීම.

මෙම සිද්ධිය බොහෝ දේවල් අපට පවස යි. මෙය වළක්වන්නේ කෙසේ ද?

සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධියට පත්වන මෙවැනි සිද්ධීන් මඟින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ බරපතල ස්වරූපය විදහාපා යි. ප්‍රසිද්ධියේ කතාකිරීමට අපේක්ෂා කරන්නන්ට, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙබඳු බව දැක්විය හැකි ය.

ඊළඟ සිද්ධිය, ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳව දැක්වෙන සිනමාපටයක් සඳහා ඉන්දියානු නළුවෙක් එහි රඟපෑම සඳහා සුදානම්වීමට අදාළ වූවකි. මෙම සිද්ධියේ දී, අදාළ නළුවා එහි රඟපෑමෙන් වැළක්වීමට; යම් අයෙකු ට්විටර් හි පළකර තිබුණේ ඔහුගේ දියණිය (දරුවා) ලිංගික අපයෝජනයට ලක්කරන බව යි. මෙම අදහස, මාධ්‍ය මඟින් ප්‍රවෘත්ති ලෙස ප්‍රචාරණය විය. ඉන්දියානු ‘සයිබර් අපරාධ ඒකකය’ මෙම ගිණුමේ හිමිකරු කවුරුන් ද යන්න පිළිබඳව විමසා බැලූහ. එම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙකු බව ඔවුන් සොයාගත්හ. ජාත්‍යන්තර පොලිසිය මඟින් අදාළ පුද්ගලයා සොයාගැනීමට ලංකාවෙන් උපකාර ඉල්ලී ය. ප්‍රවෘත්තිය, මාධ්‍ය තුළ වීඩියෝවක් වශයෙන් ප්‍රචාරණය විය.

ඒ අනුව, ට්විටර් ඔස්සේ මෙම අදහස පළකළ පුද්ගලයා වීඩියෝවක් මඟින් දක්වන්නේ, covid 19 හේතුවෙන් තමන්ට රැකියාව අහිමිවීමේ ඉච්ඡභංගත්වයත් සමඟ මෙය සිදුකළ බවත්, රැකියාවේ අහිමිවීම තමාට මානසික වශයෙන් බලපෑ බවත් ය. ඔහු, තමාට සමාවදෙන මෙන් අයැද සිටි යි. එම පුද්ගලයාගේ මව ද එම කතාවම පවස යි. ඔහු කළ දේ සම්බන්ධයෙන් හඬා වැටෙමින් පවසන්නේ, තමන් එය මානසික පීඩන තත්ත්වයක් හේතුවෙන් සිදුකළ බවත්, නැවත කිසිදින එවැන්නක්‌ සිදුනොකරන බවත් ය. මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය ප්‍රවෘත්ති මඟින් අනාවරණය නොකරන ලදී.

මේවා හුදෙකලා සිද්ධීන් නොවන අතර, හෙළිකළ යුතු ඒවා වේ.

  1. සමාජය තුළ ස්ත්‍රී-පුරුෂ අසමානතාවය ප්‍රකාශවීම.
  2. පිරිමි පුද්ගලයෙකුගෙන් පලිගැනීම සඳහා කාන්තාවක් ආයුධයක් බවට පත්වීම.
  3. ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා තුළ පවතින වීරත්වය.
  4. දුෂණය, අපරාධයක් නොවීම.
  5. දරුවෙක් පවා ලිංගික අපයෝජනයට ලක්කළ හැකිවීම.
  6. කාන්තාවක් ලිංගික වශයෙන් විවේචනය කිරීම තුළින්, ඇගේ පවුල බිය ගැන්වීම.

දරුවන්, කාන්තාවන් වශයෙන් වර්ධනය වීමේ දී සමාජ මාධ්‍ය මඟින් පළවන අදහස් ඔස්සේ, මහත් පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරුවිය හැකි ය. මේවා, නැවැත්විය හැක්කේ හෝ අවහිර කළ හැක්කේ කෙසේ ද?

මෙම සිද්ධීන් දෙකෙන්, පළමු සිදුවීම සම්බන්ධ පුද්ගලයා නොකඩවා තම නමින් ම අදහස් පළකිරීමට කටයුතු කරනු ලැබුවේ වැරදිකරුවෙකු යන හැඟීමෙන් තොරව ය. ඔහු, පැහැදිලිවම සඳහන් කළේ තමන්ට එරෙහිව කිසිවක් කළ නොහැකි බවත්, නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ ද කිසිවක් කළ නොහැකි බවත් ය. දෙවැනි සිදුවීමේ දී, එම පුද්ගලයා එසැනින් මාධ්‍යට පැමිණි අතර, ඔහු සමාව අයැද සිටියේ ය. එසේම, නීතිය මෙම සිදුවීම කෙරෙහි අවධානයෙන් පසුවන බව ඔහු දැන සිටියේ ය.

සමාජ මාධ්‍ය යනු ප්‍රසිද්ධ සන්දර්භයක්වන අතර, මහජනතාවට ද එය භාවිතයේ දී වගකීමක් පවතී. නමුත්, ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් පවතින්නේ ද යන්න පිළිබඳව මට සැකයක් පවතී. මෙවැනි ආකාරයේ අදහස් පළකරන පුද්ගලයන් කවුරුන් ද යන්න ප්‍රජාවට ද දැනුවත්වීමේ අවකාශ හිමිවන අතර, ඔවුන්ගේ චරිත ස්වභාවය කෙබඳු ද යන්න වටහාගැනීමට ද හැකියාව ලැබේ. නමුත්, ප්‍රජාව එය නොදකී. ඒවෙනුවට, අපවාදයට ලක් වූ හා අසරණභාවයට පත් වූ කාන්තාව පසුබෑමට ලක්වීම අපේක්ෂා කර යි. ප්‍රජාව ඇයට පවසන්නේ, මෙය අත්හරින ලෙස හෝ එයින් ඉවත්ව සිටින ලෙස යි. එය, විරුද්ධවාදීකමකි. ඒ පිළිබඳව අපට කළ හැකි කිසිවක් නොමැත. මේනිසා, බොහෝ කාන්තාවන් සමාජ මාධ්‍ය මගහැර සිටී. සියළුදෙනා විසින්ම ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය සමානතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නම්, නීතිය මඟින් එවැනි අන්තර්ගතයන් සීමාකරන්නේ නම් විශෝධනයට වඩා එය වඩාත් යහපත් ය. මේ අදහසින් හැඟවෙන්නේ, මෙවන් සිද්ධීන් පාලනය කළ හැකිවන්නේ නීතිය මඟින් පමණක් බව යි.

ලංකාවේ සමාජ මාධ්‍ය අපරාධ සඳහා නීති ගෙනඒමට අදාළ කටයුතු සිදු වූ නමුත්, එය සම්පූර්ණ කර නොමැත. මේවනවිට, වළක්වාලීමේ ක්‍රියාමාර්ග ගනු ලබන්නේ සයිබර් අපරාධ නීති යටතේ ය. එතෙක්, ඔවුන්ගේ වගකීමවන්නේ මෙවැනි අපවාදයන් සිදුකරන අපරාධකරුවන් හඳුනාගැනීම පමණි.

මෙවැනි ‘නිග්‍රහ කිරීම්’ සඳහා නිග්‍රහ කිරීමේ පනත යටතේ නඩු පැවරිය හැකි බව නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සඳහන් කර යි. ‘යමෙකුගේ ගරුත්වයට සහ යමෙකුගේ සමාජ තත්ත්වයට බලපාන ආකාරයේ සාවද්‍ය තොරතුරු ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම අපරාධයක්’ නීතිය පවසන්නේ එය යි යනුවෙන් ඇය පවස යි. එය පොදුවේ නිග්‍රහ කිරීමේ නඩුවක් වශයෙන් සඳහන් කළ හැකි ය.

මින් එකක්, අපකීර්තියට පත්කිරීම සහ අනෙක අපහාසකිරීම යි. අපකීර්තිය විවෘතභාවය හා සම්බන්ධවන අතර එය විවර වූ ඇසකට දෘශ්‍යමාන වේ. එය, ලිඛිත හෝ පින්තුරයක ස්වභාවයෙන් තිබිය යුතු යි. නමුත්, අපහාසය යනු අප කතාකරන වචන තුළින් ගොඩනැගෙන්නකි.

නීති උපදේශක මංගල ශංකර්, මෙයට අදාළව අපකීර්තියට පත්කිරීම යන්න සනාථකිරීම සඳහා වැදගත්වන අවශ්‍යතා පිළිබඳ පහත පරිදි විස්තර කර යි.

එය පුද්ගලයෙකුගේ කිර්තිනාමය බිඳදැමීමක් පිළිබඳව විය යුතු යි.

  1. A) එය, අන්අයගේ අගයකිරීමට ලක්වන යමෙකුගේ කීර්තිය ඍජුව හෝ වක්‍රව පහතහෙළන්නක් වැනි දෙයක් විය යුතු යි.
  2. B) පුද්ගලයෙකුගේ සදාචාරය හෝ දැනුම පිළිබඳව කතාකිරීම තුළින් යම්කෙනෙකුගේ කිර්තිනාමය පහතහෙළීමක් වියයුතු යි.
  3. C) යම්කෙනෙකුගේ කුලය සම්බන්ධයෙන් අවනම්බු කිරීම පිළිබඳව විය යුතු යි.
  4. D) කාන්තාවකගේ පතිවෘතතාවයට අනර්ථදායක ලෙස බලපාන දෙයක් විය යුතු යි.
  5. E) පුද්ගලයෙකුගේ කීර්තියට හානිකරන්නක් විය යුතු යි.

F)සමස්තයක් වශයෙන් යමෙකුට පවතින අගයට අපවාදයක් එල්ල කරන්නක් විය යුතු යි.

“පහත දැක්වෙන සිදුවීම් ලංකාව තුළ පොදුවේ සිදුවන ඒවා වේ. ඇතැම් පුද්ගලයන්, අනෙකෙකුගේ ගරුත්වය හීනවන අයුරින් ඒ පිළිබඳ අවබෝධයකින් තොරව සාවද්‍ය තොරතුරු පවස යි. පසුව, ඔවුන් උසාවියේ දී සමාව අයදී. ඇතැම්විට, විශාල ප්‍රමාණයේ මුදලක් එමඟින් අහිමි වේ” යනුවෙන් නීතිඥ මංගල ශංකර් පවස යි.

එසේම, මුහුණුපොතේ කළමණාකාරිත්වයට කාන්තාවන් පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් නොමැති බව පෙනී යයි. ඉන්දියාවේ, කාන්තා මාධ්‍යවේදිනියක් අපහාසයට ලක්ව එය මුහුණුපොතට වාර්තා කරන ලදී. එයට ලැබුණ පිළිතුර වූයේ, ඔවුන්ගේ සමාජ පිළිගැනීමට හා ප්‍රජාවේ සම්මතයට අනුව එම ප්‍රශ්න කිරීමට ලක් වූ අදහස නිවැරදි බව යි. පසුව, මෙම ගැටළුව පොලිසියට වාර්තා කරන ලදී. එහිදී ද, මහජන විරෝධතාවයක් ඇතිවි ය. ඉන්පසුව, මුහුණුපොත අදාළ අදහස ඉවත් කරගැනීමට කටයුතු කරන ලදී. කාන්තා මාධ්‍යවේදිනිය සඳහන් කළේ, බොහෝසෙයින් ඇයට එරෙහිව දේශපාලන බලපෑම් එල්ල වූ බව යි.

සමාජ මාධ්‍ය තුළින් කාන්තාවන්ට එරෙහිව අවමන් කිරීම, ස්ත්‍රී පීඩනයේ එක් ස්වරූපයකි. එවැනි සමාජ කොටස්, මහජන අවකාශයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන්ගෙන් ඉවත්කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතු යි. සමාජය අනුමත නොකරන මෙවැනි හැසිරීම් සහිත පුද්ගලයන් හඳුනාගැනීම අදවනවිට අත්‍යාවශ්‍යයෙන් සිදුකළ යුතු අතර, අධිකාරීත්වය මඟින් නීති සහ නියෝග ස්ථාපිත කළ යුතු යි.

 

 

 

 

 

Leave a Reply