සෞඛ්‍ය සන්නිවේදනය සහ ජනමාධ්‍ය වගකීම

කොවිඞ් 19 වෛරසය හෙවත් කොරෝනා වසංගතයෙන් පෙළෙන ගෝලීය සමාජය බිය සැක සංඛා සහිතව වුවද වසංගත තත්ත්වයෙන් මිදීමේ අපේක්ෂා දල්වාගෙන ජීවත්වෙති. වසර කිහිපයක් යනතුරු ලෝකයට මෙලෙස වසංගත තත්ත්වය සමග ජීවත්වීමට සිදුවිය හැකි බව සමහර වෛද්‍ය විශේෂඥන්ගේ මතය වේ. කොරෝනා වසංගතයට යටපත්වීම කෙසේවුවද පවත්නා වසංගත තත්ත්වයට මුහුණ දීම මානව සමාජයට අද දවසේ පවත්නා එකම කාරණය බවට පත්කරගනිමින් එම තත්ත්වය පරාජයට පත් කරන තුරු ලෝකය කොරෝනා ඉදිරියේ නැවතී කටයුතු කරනවාද ? එසේත් නැතහොත් ලෝකයේ සියලු කටයුතු එලෙසම ඉදිරියට ගෙනයමින් ඒ සමගම කොරෝනා තත්ත්වය පරාජය කරනවාද යන කාරණයේදී අද ගෝලීය සමාජය විසින් මේ වන විටත් දෙවන විකල්පය තොරාගෙන ඇත. දුෂ්කර වුවද ලෝකයට හිතකර වඩාත් ප්‍රායෝගික විකල්පය වන්නේ එය බව ද පැහැදිලිය.

ඒ අතර කොවිඞ් 19 වෛරසය පරාජය කිරීම සදහා භාවිතා කළහැකි එන්නත් කිහිපයක් ම මහා බි්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවිය, ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් සාර්ථකව අත්හදා බලමින් සිටින බවට ලැබෙමින් පවතින පුවත් ලෝකයට සැනසුම් සුසුමක් මෙන්ම අපේක්ෂාවක් ගෙන එන බව නො අනුමාණය. එසේ වුවද එම එන්නත් භාවිතයට ගැනීමට තවත් කෙටි කාලයක් ගත විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශවලින් පැහැදිලි වෙයි.

එසේ අපේක්ෂා දල්වා ගනිමින් ලෝකය ඉදිරියට යන ගමනේ දී තවමත් දෙගිඩියාවකින් පසුවන සමාජය නොයෙක් ප්‍රතිකාර පිළිබඳ නිල වශයෙන් මෙන්ම නොනිල වශයෙන් නොයෙක් අත්හදාබැලීම්, පර්යේෂණයන් වල නිරත වෙමින් සිටිති. සමහර අත්හදාබැලීම් විද්‍යාතමක පර්යේෂණයන් වන අතර තවත් සමහර අත්හදාබැලීම් එසේ නොවන සාම්ප්‍රදායික පුරුදු සහ පිළිගැනීම් මෙන්ම පාරම්පරිකව පැවත එන ක්‍රමවේදයන් ය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මක කාරණා ද ඒ අතර වේ.

කෙසේ වුවද ශරීර සුවතාවය පවත්වා ගැනීමට මෙන්ම ශරීර ප්‍රතිශක්තිය රදා පවත්වා ගැනීමට හේතු වන ක්‍රම සහ විදි භාවිතය කවුරුත් පොදුවේ අනුමත කරති. එවන් නොයෙක් දේශීය සාම්ප්‍රදායික පානයන් කෙරෙහි සමාජයේ යම් නැඹුරුවක් ද පවතී. එවැන ිදෑ මගින් අදාළ පුද්ගලයාට හෝ සමාජයට හානියක් සිදු නොවෙයි.

ගැටලුව වන්නේ කොරෝනා පරදන පානය, ඕනෑම වෛරසයක් විනාශ කළහැකි බෙහෙත, ආලේපය, දේශීය සොයාගැනීම, අත් බෙහෙත, කොරෝනා වලට ටක්කෙට බෙහෙත් කරන ආයුර්වේද වෙදැදුරු වැනි ප්‍රවාදයන් සදහා සාම්ප්‍රදායික මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ යම් ඉඩක් වෙන් වන අයුරු දක්නට ඇත. කවරාකාරයකින් හෝ යම් සහනයක් බලාපොරොත්තුවෙන් සිටින සමාජයකට එය යම් ආශ්වාදනීය තත්ත්වයක් විය හැකිය. නොයෙක් දේශීය fඖෂධ සහ අත්හදාබැලීම් සදහා නොයෙක් පිරිස් යොමුවිය හැකි වුව ද කොවිඞ් 19 වෛරසයට අදාළව සිදු කළ පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස සොයා ගත් දේශීය fඖෂධයක් නිල වශයෙන් නිර්දේශ කිරීමේ හැකියාවක් ද නොමැත.

එවන් තත්ත්වයක් යටතේ කොවිඞ් 19 වෛරසය ඉදිරියේ කිසිදු විශ්වසනීය සහතිකයක් නොමැති බෙහෙත් ද්‍රව්‍ය මෙන්ම ක්‍රම සහ විදි පිළිබඳව මහජන විශ්වාසයක් ඇතිකිරීම හෝ ඇතිවීම පවත්නා තත්වයට මුහුණදීමේදී බාධාවක් විය හැකිය.එබැවින් එවන් කාරණාවන් පිළිබඳ කටයුතු කිරීමේදී රජයකට, සාම්ප්‍රදායික මාධ්‍යයට, නව මාධ්‍යයට මෙන්ම සමාජ මාධ්‍යයට විශේෂ වූ වගකීමක් පැවරෙයි. රජයක් එවැනි දෑ වෙත අනුග්‍රහය දැක්වීම තුළ එවන් කටයුතු සඳහා නිරායාසයෙන්ම නිල තත්ත්වයක් එසේත් නැතහොත් නිල පිළිගැනීමක් හිමිවේ. සමාජමාධ්‍ය තුළ එවන් ප්‍රවණතාවයන් නියාමණය කිරීම දුෂ්කර කාර්යයක් වුවද වෙබ් මාධ්‍යයට සහ සාම්ප්‍රදායික මාධ්‍යයට එය යම් නියාමණ ක්‍රියාවලියක් මගින් කළමණාකරණය කරගැනීමේ හැකියාවක් පවතී. සමාජයක් විපතට පත්ව ඇති මොහොතක එය සෞඛ්‍ය සංනිවේදනයේදී (Health Communication) සෑම මාධ්‍යයක් ම ඇති කරගත යුතු පොදු එකගතාවයකි. කොටින්ම පවසතොත් ජනමාධ්‍ය ජනමනස තුළ වැරදි විශ්වාස ඇති නොකළ යුතුය.

එය අද දවසේ මාධ්‍ය භූමිකාව සතු වගකීමකි. එම වගකීම නොසළකා හැර කටයුතු කිරීම ප්‍රකාශන අයිතිය අවභාවිතා කිරීමක් ද වන්නේ ය.

Leave a Reply