හම්බන්තොට අලි – මිනිස් ගැටුමේ සුළ මුළ කුමක්ද?

වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස මීට වසර කිහිපයකට පෙර පැවති රජය විසින් දියත් කරන ලද ‘වලව’ වම් ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බොහෝ අලි ඇතුන්ට වනාන්තර තුළ තම වාසස්ථාන අහිමි වීම නිසා ඔවුන් ගම්මානවලට පැමිණීමට පටන්ගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර තුළ පමණක් ‘හක්කපටස්’ හෝ ‘විදුලි වැට’ භාවිත කරමින් වන අලීන් ඝාතනය කිරීමට උත්සහ කර ඇත. අලි ඇතුන් පහර දීම හේතුවෙන් සමහරක් පුද්ගලයින් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්ව ඇති අතර තවත් සමහරුන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යෝජනා කරන පරිදි වන අලි සම්පත සුරැකීම සඳහා රක්ෂිතයක් ප්‍රකාශයට පත් නොකිරීම, බොරළු කැණීම් හෝ ගල් කැණීම් වැනි සංවර්ධන කටයුතු සඳහා මහවැලි අධිකාරියට අයත් ඉඩම් අත්පත් කරගැනීම හා විවිධ වාණිජ වගා කටයුතු සඳහා වනාන්තරවල ඇති ඉඩම් භාවිත කිරීම වැනි හේතු නිසා වර්තමානය වනවිට අලි – මිනිස් ගැටුම් තවදුරටත් උග්‍රව ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මීට අමතරව වන අලි රක්ෂිත ඉදි කිරීමට යෝජිත කුරුදාන වැනි ප්‍රදේශ හරස් කරමින් ගම්මාන ඉදි කිරීම හා වාණිජ වගා කටයුතු සිදු කිරීම සඳහා විවිධ පුද්ගලයින්ට ඉඩම් ලබාදීම නිසාවෙන්ද මෙම ගැටලු වර්ධනය වන බව පරිසර සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා පවසයි. තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංක්‍රමණික වන අලීන් හඳුනා ගැනීමට හා අලි – මිනිස් ගැටලුව පාලනය කිරීමත් අරමුණු කරගෙන හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් උඩවලව, ලුණුගම්වෙහෙර හා බුන්දල යන ප්‍රදේශ වන අලි රක්ෂිත ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මගින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලීන් 450 කගේ ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කල හැකි බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මීට වසර කිහිපයකට පෙර මහා පරිමාණයේ නීති විරෝධී වගා කටයුතු සිදු කිරීම සඳහා මහවැලි අධිකාරියේ පාලනය යටතේ පැවති අන්දරවැව උස්ගල රක්ෂිතයේ අක්කර 600, වැවේගම රක්ෂිතයේ අක්කර 100, කුඩා ඉදි වැව රක්ෂිතයේ අක්කර 400 හා සුරුවිරුගම මුතුගල් ආර රක්ෂිතයේ අක්කර 25 එළිපෙහෙලි කර එහි අනවසර විදුලි වැටවල් ඉදිකිරීම නිසා වන අලීන්ට රක්ෂිත අහිමි වීම හේතුවෙන් උක්ත ප්‍රදේශ කේන්ද්‍රීයව අලි – මිනිස් ගැටුම උග්‍ර වී ඇති බව සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාර්තා කරයි. මෙම ගැටලුවට විසඳුමක් ලෙස අනාරක්ෂිත විදුලි වැටවල් ස්ථාපිත කර ඇති රක්ෂිත ප්‍රදේශවලින් ගොවීන් ඉවත් කළ යුතු බවට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අදාල වගකිවයුතු ආයතන කිහිප අවස්ථාවකදීම දැනුවත් කල නමුත් මේ වනතෙක් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති නිසා මහ අන්දරවැව, වල්සපුගල, කරුවල, තිස්සපුර හා රණමයුරපුර යන ප්‍රදේශවල වාසය කරන ජනතාවට වන අලීන්ගෙන් සිදුවන හානිය අධික වී ඇත.

සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වනාන්තරයකින් අක්කර 2.5 ට වැඩි භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කිරීමට පෙර වර්ෂ 1980 අංක 47 දරණ පරිසර සංරක්ෂණ පනත හා වර්ෂ 1993 ජුනි මස 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 772/22 ගැසට් නිවේදනයේ සඳහන් පරිදි උක්ත සංවර්ධන ව්‍යාපෘතිය මගින් ස්වභාවික පරිසරයට සිදුවන පාරිසකරික බලපෑම තක්සේරු කිරීමෙන් අනතුරුව ලිඛිත අනුමැතියක් ලබා ගැනීම අනිවාර්ය වේ.

වල්සපුගල, දිවුල්පැලැස්ස වැව ආශ්‍රිතව ඉදිකර ඇති විශාල ප්‍රමාණයේ සූර්ය ශක්ති බලාගාරය විවිධ ක්ෂේත්‍රයන්වල සංවර්ධන කටයුතු සාක්ෂාත් කර ගැනීමේ චේතනාවෙන් නිම වූවකි. එම ස්ථානයෙහි සූර්ය ශක්ති බලාගාරය ඉදි කිරීමට පෙර මෙම වැව ආශ්‍රිතව වන අලින් විශාල වශයෙන් සැරි සැරූ බව හම්බන්තොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා ගන්නා ලද තොරතුරුවලින් අනාවරණය කර ගැනීමට හැකි විය. මීට අමතරව වැවේගම, වැලිආර, බැඳිවැව, බෝගහ ඉදි වැව හා කුඩා ඉදි වැව යන ප්‍රදේශ ආවරණය වන පරිදි අක්කර 700 පුරා පැතිර ඇති කෝන්කැටිආර වනාන්තරය ආශ්‍රිතවත් වන අලීන් බහුලව දැකගත හැකිය.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජාත්‍යන්තර ගුවන්තොටුපල වන මත්තල ගුවන්තොටුලේ ඉදිකිරීම් කටයුතු සඳහා මීට පෙර මත්තල ප්‍රදේශයේ වන අලින් බහුලව ගැවසුණු හෙක්ටයාර 2,000 ක පමණ වනාන්තර ආශ්‍රිත භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇති අතර මේ වන විට ඉන් හෙක්ටයාර 800 ක භූමි ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති බවත් හම්බන්තොට ජාත්‍යන්තර වරාය ඉදි කිරීම සඳහා හෙක්ටයාර 1115 ක භූමි ප්‍රමාණයක් භාවිත කර ඇති අතර ඉන් හෙක්ටයාර 700 ක භූමි ප්‍රමාණයක් මේ වන විටත් සංවර්ධනය කර ඇති බවත් හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම, මාර්ග සංවර්ධනය හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කරගත් සංවර්ධන කටයුතු හා නවීකරණය කටයුතු සඳහා වනාන්තර විශාල ප්‍රමාණයක් එළිපෙහෙළි කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලබා ගත් තොරතුරුවලින් අනාවරණය වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වන අලීන්ට සිය වාසස්ථාන අහිමි වීම නිසා ඔවුන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩමත්තල, පුංචිඅප්පුජදුර, බංඩගිරිය හා ලුණුගම්වෙහෙර වැනි සංවර්ධනය වෙමින් පවත්නා ගම්වලට ඇතුළු වී එම ගම් ආශ්‍රිත ගොවීන්ගේ වගාවන්ට හා දේපළවලට හානි කිරීම නිසා සමහර ගොවීන් සිය වගා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති අතර උක්ත හේතුව නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව අලි – මිනිස් ගැටුම් උග්‍රව ඇති ආකාරයක් දක්නට ලැබෙයි.

මේ ආකාරයේ විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා පසුගිය වසර 15 ක කාල සීමාව ඇතුළත පමණක් වන සතුන් විශේෂයෙන් වල අලීන් බහුලව වාසය කරන වනාන්තර ප්‍රදේශ හෙක්ටයාර 15,000 ක පමණ භූමි ප්‍රදේශයක් භාවිත කර ඇත. කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර එළිපෙහෙලි කිරීම හේතුවෙන් වර්තමානය වන විට වන සතුන්ට වාසය කිරීම සඳහා ඉතිරිව ඇත්තේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් පමණි. එපමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන් විසින් විවිධ නීති විරෝධී වගා කටයුතු මහා පරිමාණයෙන් සිදු කිරීම හේතුවෙන්ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ රක්ෂිත ප්‍රදේශ මේ වනවිටත් අවදානමට ලක්ව ඇති බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

එවැනි ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතීන් මගින් වන අලීන්ට සිය වාසස්ථාන අහිමි වීම නිසා ඉදිරි වසර කිහිපය ඇතුළත අලි – මිනිස් ගැටුම් තවදුරටත් බරපතල ලෙස උත්සන්න විය හැක. එබැවින් වන අලීන් ඇතුළු සියලු ජීවීන්ගේ ආරක්ෂාව හා ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් මෙරට ජාතික හා ප්‍රාදේශීය සංවර්ධන කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය බව මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.

 

 

Leave a Reply