Home SLPI News තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ අන්තර්ජාතික සමුළුවක් කොළඹ දී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ අන්තර්ජාතික සමුළුවක් කොළඹ දී

0
තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ අන්තර්ජාතික සමුළුවක් කොළඹ දී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ අන්තර්ජාතික සමුළුවක්, 2018 මැයි මස 8 හා 9 දෙදින තුළ කොළඹ දී පැවැත්වේ. නෝවීජියානු තානාපති කාර්යාලයේ පුර්ණ සහයෝගය ඇතිව ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන මෙම අන්තර්ජාතික සමුළුව කොළඹ 7 පිහිටි ශ‍්‍රී ලංකා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.

තොරතුරු දැනගැන්මේ අයිතිය පිලිබඳ නීතිය ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වී 2018ට වසරක් පිරීම හා ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම අරමුණු කරගෙන මෙම අන්තර්ජාතික සමුළුව පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.

තොරතුරු සොයන්නන් මුහුණදෙන අවදානම හා ඔවුන්ගේ ආරක්ෂාව, පුද්ගල දත්ත සුරක්ෂිතතාව, තොරතුරු අයිතිය පිලිබඳ සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය සතු භූමිකාව, තොරතුරු අනාවරණය හා තාක්ෂණ භාවිතාව, තොරතුරු පණතේ අනාගතය ආදී තේමා යටතේ සැසිවාර සංවිධානය කර ඇත. නොර්වේ, ඉන්දියාව, පකිස්ථානය, මියන්මාරය ආදී රටවලින් තොරතුරු දැනගැනීමේ අයිතිය හා අදාළ නීති පිලිබඳ විශාරදයින් මෙම සමුළුවේ අදහස් දැක්වීමට නියමිතය. මීට අමතරව ශ‍්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ කොමිසමේ සභිකයින් හා සාමාජිකයින්, රජයේ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, ක‍්‍රියාධරයින් මෙන්ම ප‍්‍රමුඛ ජනමාධ්‍යවේදීන්ද අදහස් දක්වනු ඇත.

අමාත්‍යංශ කිහිපයක නියෝජිතයින්,තොරතුරු අයිතිය පිලිබඳ දේශීය හා විදේශීය වශයෙන් සුපතල ක‍්‍රියාධරයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද මෙම සමුළුවට සහභාගීවීමට නියමිතය. මෙම අන්තර්ජාතික සමුළුව මගින් සිවිල් සංවිධාන, රාජ්‍ය නියෝජිතයින් හා මාධ්‍යවේදීන් අතර අදහස් හුවමාරුවකට අවස්ථාවක් සලසාදීම ද සංවිධායකයින්ගේ අරමුණක් වේ. එය ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ස්ථාවර කරමින් ඉදිරිදැක්ම සැකසීමට මූලික පියවරක් වනු ඇත.

තොරතුරු දැනගැනීමේ අයිතිය පිලිබඳ පනත, ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මකවීම ඇරඹෙන්නේ 2017 පෙබරවාරි 03 දා සිටය. සම්මත වූ කෙටුම්පතට 2016 අගෝස්තු මස දී කථානායක අත්සන යෙදීමත් සමඟ පනත බලාත්මක විය. මෙම අන්තර්ජාතික සමුළුව සංවිධානය කිරීම හරහා, පසුවූ වසරක කාලය තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය රට තුළ ක‍්‍රියාත්මක වීමට අදාළව උගත් පාඩම් සමාලෝචනය කිරීම ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අභිප‍්‍රාය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here